Tuesday 15 February 2022

බල දඩයම...

 

බල දඩයම...



ඔබ සියළුදෙනාම ජීවිතයේ එක වරක් හෝ බලමාළු අනුභවකර ඇතැයි මම සිතමි...
එහෙත් ඉතාම සුළු පිරිසක් හැර ධීවරයන් බලමාළුවන් අල්ලන්නේ කෙසේදැයි නොදන්නාබව මට සහතිකය.
ඔබ බොහෝවිට දන්නේ...
මාටින් වික්රමසිංහ මහතාගේ මඩොල්දූව පොතේ...
උපාලි ගිනිවැල්ල හොරෙන් බල ඔරුවකට ඇතුල්වී දියඹට ගොස්...
ඉඟුරන් මුහුදට වීසි කරමින් ධීවරයන් බලයන් බිලීබාන අන්දම ගැන කරන විස්තරයක් පමණි. මුහුදුබඩ ප්රදේශයක ජීවත්වුන කුඩා කාලයේ වැල්ලේ රී රැල්ලෙන් පුක හෝදපු මමවත්...
වර්තමාන ධීවරයන් බලයන් දඩයම් කරන්නේ කෙසේදැයි දැන සිටියේ නැත...



කන්ද උඩරට හෝ අනුරාධපුරේ ඇත්තන් ගැන කවර කතාද ? වර්තමාන ධීවරයන් බලයන් බිලීබාන්නේ මාර්ටින් වික්රමසිංහ මහතාගේ මඩොල්දූව නවකතාවේ පවසන ආකාරයට මුහුදට ඉඟුරන් විසි විසිකරමින් බිලී පිත්තෙන් නොවේ.... මාදැල් භාවිතයෙන් ද නොවේ. මට මේ බලයන් දඩයම් කරන අන්දම ගැන... සිරාවටම දැනගැනීමට
අවශ්යවූ නිසා... මාතර තොටමුනේ ධීවරයන් සමග දියඹට ගොස් බලයන් දඩයම් කරන ආකාරය සියැසින්ම දැකගැනීමට උත්සාහ කළෙමි. කුඩා කල සිටම මගේ එක් විනෝදාංශයක් වූයේ මාළු බෑමයි.
මාතර තොටමුනේ ධීවරයන් බලයන් දඩයම් කිරීම සඳහා පිටත් වන්නේ උදේ පාන්දර 4 ත්
5 ත් අතර කාලයේය. මම මගේ Fishing Rod එකත් රැගෙන පාන්දර 4:30ට පමණ තොටමුණ
ධීවර ජැටියට ගොස් මුහුදු යෑමට සූදානම් වන ධීවරයන් වෙත ගොස්... බලයන් ඇල්ලීම සඳහා මා දියඹට රැගෙන යන්නට කැමැති දැයි ඇසුවෙමි. ඔවුන් කිසිවෙක් ඒ සඳහා කැමති වූයේ නැත.



නොයෙකුත් හේතු කියමින් ඔව්හු මා දියඹට රැගෙනයාම ප්රතික්ෂේප කළහ...
නොපසුබස්නා උට්ඨාන වීර්යය ඇතිමා පළමු දිනයේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු දෙවැනි දිනයේද උදේ පාන්දර 4:30ට මසුන් මැරීමේ ආම්පන්නද රැගෙන දෙවෙනි සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණියෙමි... බෝට්ටු කිහිපයකින්ම නැවතත් ප්රතික්ෂේප වීමෙන්පසු... එක බෝට්ටුවක සිටි නිතර සිනාසෙන ප්රියමනාප මුහුණක් ඇති තොටමුණ ධීවර ගමේ තරුණයෙකු නොහඳුන මා දියඹ මුහුදට ගෙන යෑමට කැමැතිවිය.



ඔහුගේ නම චමින්දය... පට්ට හිතහොඳ කොල්ලෙකි.. තොටමුණ බජාර් එකේ ඔහු හඳුන්වන්නේ...
කොටියා යන අන්වර්ථ නාමයෙනි මහත්තයා නගින්න කියූ විගස මම බෝට්ටුවට පැන ගත්තෙමි.
කුඩා කල සිටම අම්බලන්ගොඩ මාළුබෝට්ටුවල සහ නේවි බෝට්ටු වල ගොස් පළපුරුද්ද ඇති නිසා කිසිම අවුලක් නැත. දැන් කළුකොටියා ෆුල් ස්පීඩ් මුහුදට කෙලගෙන යනවාය බෝට්ටුව මාරියාවේ වදිනවිට උඩ ගොස් බිම වැටේ...නියම සනීපදායක ජොබ් එකකි...කිලෝ මීටර් විස්සක් පමණ දියඹට ගියවිට මාළු කාරයන්ගෙ භාෂාවෙන්... පළවෙනි නැව් කෝස්එක හමුවේ
ඒ කියන්නේ ලංකාවට සමීපයෙන්ම ඇති නාවික ගමනාගමන මාර්ගයයි...අපි පතමෝල් නැව් අස්සෙන් රිංගමින් බලයන් සොයමින් කෘතීම ඇම් ගැටගැසූ යොත් දහයක් බෝට්ටුවේ පිටිපස ඇති ලී දණ්ඩේ ගැටගසාගෙන... ඒමේඅත දිව්වෙමු...අන්න #$@ගෙපුතෝ දියගහනවා...අවුළපන්... රත්නසිරි ඇණියේ රාල මොර දුන්නේය. දිය ගහනවා යනු වතුර අවුස්සමින් බලයන් උඩපනින එකට මාළු කාරයන්ගෙ භාෂාවෙන් කියන වචනයයි. මෙම දර්ශනය දුටු විගසම යොත් දහය ගැට ගැටගැසූ බෝට්ටුව දියගහන ප්රදේශය මතින් අධික වේගයෙන් ධාවනය කරවීම බෝට්ටු කාරයන් ගේ සිරිතයි...



ඊයම් වලින් සෑදූ මාළු ඔලුවක් වැනි බරුවකට බිලී කොක්කක් අමුණා එය වැසෙන පරිදි රතු පාට රිබන් තීරු වටේට ගැටගැසූ කෘතීම ඇමක් බලයන් ඇල්ලීම සඳහා භාවිත කරනු ලැබේ. ( පින්තුරය බලන්න )මෙම කෘතීම ඇමට බලයන් ඇදී එන්නේ...කාන්දමකට යකඩ ඇණ ඇදී එන ආකාරයටය...යොතක බලයකු ඈමිණුනු විගස බලයා වතුර මතුපිටට පැමිණෙන අතර...වතුර කපාගෙන ඌ ඉදිරියට එයි...එවිට බෝට්ටුවේ සිටින සගයන් දෙදෙනා අවරට ගොස් යොත අකුලමින් බලයන් බෝට්ටුවට ඇදගනු ලැබේ...බෝට්ටුවේ සිටින තුන්දෙනාම අවර ප්රදේශයේ සිටිනු දකින...ඇත සිටින බෝට්ටුවල මාළු කාරයෝ...පිස්සු බල්ලන් රංචුවක් මෙන් අප සිටින බෝට්ටුව දෙසට ඇදීආහ...ඔවුහු ඒ මේ අත බෝට්ටු අධික වේගයෙන් කරකවමින්...බලයන් අයින මතින්...බෝට්ටු ධාවනය කරමින් බලයන් අවුල වන්නට පටන් ගත්හ...මේ ක්රීඩාව විනාඩි පහකින් අවසන් වෙයි බෝට්ටු වල අධික ශබ්දය නිසා...බලයන් රංචුව වහාම ගැඹුරු දියට පලාගොස් කිලෝ මීටර් දෙක තුනක් ඈතින් නැවත මතුවෙයි... කිසියම් බෝට්ටු කාරයකු බලයන් දිය ගහනවා දැක්කවිට... ඒ ප්රදේශයට වේගයෙන් යන අතර...අනෙකුත් බෝට්ටු කාරයෝ මාරාවේශයෙන් එම ප්රදේශයට කඩාවදිති...එසේ පැමිණියා කියා මුල් බෝට්ටු කාරයාගේ අමනාපයක් නැත...



කිසිවෙක් කිසිවකුට කතා නොකරන අතර බෝට්ටු එකිනෙකා හප්පා ගන්නේ නොමැතිව...එකිනෙකාගේ යොත් පටලවා ගන්නේ නැතුව...කරන මේ බිහිසුණු ධාවන තරඟය... මාරාන්තික එකකි. ඇණියේ උඩ පහත වීසිවෙමින් සිටින මට උස්සලා පොලවේ ගහනවා වැනි හෝ යකඩ පොල්ලකින් ඔලුවට පත බානවා වගේ අධික වේදනාවක් ඇතිවිය...
බලයන් දිගටම උඩ මතුවෙමින් දිය ගසන්නේනම්...මේ ක්රීඩාව සවස් වන තුරුම සිදුවෙයි. නමුත් බොහෝ විට දහවල් 12 පමණ වනවිට බලයන් රංචුව ගැඹුරු දියට පලායයි. දිය ගැසීම නැවතුණු වහාම...බෝට්ටු කාරයෝ ගොඩබිම දෙසට අඩු වේගයකින් පැමිණෙති. මාළු විකුණන තොග මුදලාලිට...තෙල් ගැසීමට ණයට මුදල් දුන් මුදලාලිට සහ බෝට්ටුව අයිතිකරුට මුදල් දුන් පසු බෝට්ටු පදවමින් අව්වේ කර වෙමින් වෙහෙස වෙමින් මාළු අල්ලනට සැබෑ ධීවරයාට ලැබෙන්නේ සොච්චම් මුදලකි. ඇඟපතේ අධික වෙහෙස නිසා සිගරට් අරක්කු ගංජා බීම අනිවාර්යවී ඇත. දරු පවුල් නඩත්තුව සඳහා ඉතිරිවන මුදල කිසිසේත් ප්රමාණවත් නැත.



කොටියා සහ නැම්මා සමග කෙළවල්ලන් දඩයමේ ගියෙමි...


කොටියා සහ නැම්මා සමග කෙළවල්ලන් දඩයමේ ගියෙමි...




මා වැඩියෙන්ම අනුභව කිරීමට ආසා කරන මාළු වර්ගය කෙලවල්ලන්ය...කටු රහිත බික් ගැලවෙන මාළු පෙති එකවර ගිල දැමිය හැකි බැවිනි.
කොයි රටෙත් කෙළවල්ලන් මිල අධික මාලු වර්ගයකි...
මගේ ධීවර මිතුරන් දෙදෙනා අද දින කෙළවල්ලන් ඇල්ලීමට යන බව කීබැවින්...
උදේ පාන්දර පහයි තිහට පමණ කොටියාගේ High-Speed බෝට්ටුවට පැන ගතිමි...
කෙළවල්ලන් අල්ලන්නේ බලයන් අල්ලන අන්දමට නොවේ...
එය සම්පූර්ණයෙන්ම අතීත පළපුරුද්ද මත කරන ක්රියාවකි...
තොටමුණේ ධීවරයෝ සම්ප්රදාය කරපින්නාගත් ධීවරයන්ය...
උදේ පාන්දරින්ම බෝට්ටුවලට පැමිණෙන ධීවරයෝ හඳුන්කූරු මිටියක් සහ කපුරු දල්වා කාලි මෑණියන්ගේ ආශිර්වාදය පතති.
මෙය ධීවරයන් සියලු දෙනාම කරන ක්රියාවකි. සපත්තු සෙරෙප්පු දාගෙන බෝට්ටුවට නැගීම තහනම්ය...මාළුන් දිය ගසන අන්දම...ලිහිනින් කැරකෙන අන්දම ඇඟිල්ල දිගු කර පෙන්වීම තහනම්ය. කතා නොකර බෝට්ටුවට තට්ටු කරමින් මාළුන් කැඳවා ගැනීමේ කෙම් ක්රමය...ආදී පුරාණ චාරිත්ර බොහොමයක් තවමත් අනුගමනය කරනු ලැබේ...
මේ ධීවරයන් කිසිවකුත් සාමාන්ය පෙළට වඩා උසස් අධ්යාපනය ලැබූවන් නොවේ...ආර්ථික තත්වය අයහපත් බැවින් නිතර කෝපයෙන් දැවෙමින් සිටිති. ඔවුන්ගේ සිත දැඩිය බැල්ම හිස්ය...ජීවිතයේ ටාගට් නැත... අද හම්බ කරොත් අද බොනවා අද කනවා...එච්චරයි ! වගා නොකර හැමදා අස්වැන්න ගෙනෙන්නට යන බැවින් මුදල් කීයක් හෝ අතට ලැබෙන බැවින්ද...Heat Stroke නිසා ඇතිවන ශරීරයේ අධික තෙහෙට්ටුව නිසාද... වැඩිදෙනෙකු අධික බීමතට ඇබ්බැහිවී ඇත...ඔවුන් අතර මත්ද්රව්ය භාවිතයද ඉහළ මට්ටමක පවතී.
කෙසේ නමුත් මම දැන් ඔවුන් අතරය.
සියළු මාළුවන් අතරින්... ධීවරයාට රත්ත්රන් වලටත් වඩා වටින්නේ ඉඟුරන් නැමැති මාළු වර්ගයයි.
කෙලවල්ලන් ඇල්ලීමේ පළමු පියවර වන්නේ ඇම්බෝලය සොයාගැනීමයි...ඇම්බෝලය යනු
ලොකු මාළුන්ට බයේ එකට පොදි ගැසුණු ඉඟුරන් රංචුවකි...මෙය වතුර මතුපිට සිරි සිරි ගාමින් දඟලනු ඈතට පෙනේ...ලිහිණි රංචුව පැන පැන මාළුන් ඩැහැ ගනිති...එවැනි දෙයක් දුටු විට වහාම එතනට කෙළ ගෙනගොස් අතංගුවෙන් ඉඟුරන් අල්ලා බෝට්ටුවේ මැද සාදා ඇති හතරැස් ටැංකියටදා ගනු ලැබේ...
ඉඟුරන් දෙතුන් සීයක් ටැංකියට දාගත්තොත් වැඩේ ගොඩය. ඉඟුරන් දාගත් වහාම...ටැංකිය පතුලේ සහ ටැංකිය පැත්තෙන් ඇති ඇබ දෙක ගලවනු ලැබේ...
එවිට වහාම බෝට්ටුවට වතුර පිරෙන්නට පටන් ගනී...
අද දින ඇම්බෝලය කිසිවකුටත් හමු වුණේ නැති බැවින් අද අවාසනාවන්ත දවසකි. දෙවෙනි option එක ලෙස බිලි කොකු සහ කෘතීම කුඩා ඇම් ගණනාවක් එකට දිග යොතක් මුහුදට යොදා සජීවී ඇමට පාවිච්චි කිරීම සඳහා ලින්නෝ බෝල්ලන් දඩයම් කරලදී...වීඩියෝව බලන්න...
දැන් දෙවැනි පියවර ලෙස කළ යුත්තේ මුල්ලු රංචුවක් සොයා ගැනීමය. මුල්ලු යනු ඩොල්ෆින්ලාට ධීවරයන් භාවිතා කරන නමයි...මුල්ලු රංචුවත් සමග කෙලවල්ලන්ද ගමන් කරන බව ධීවරයන්ගේ අත්දැකීමයි...
එකවරම අපි වතුර උඩ කරනම් ගසමින් දුවන...මුල්ලු රංචුවක් දැක්කෙමු...මෙය දුටු බෝට්ටු කාරයෝ රොත්තක්ම අප පසුපස හඹා ආහ...මුල්ලු රංචුව පසුපස යමින් සජීවී ඉඟුරන් බිලී කොක්කක අමුණා...ඇමට යොදා කෙලවල්ලන් දඩයම් කිරීම ධීවරයන්ගේ සිරිතයි...
අද දින ඉඟුරන් හමුවුණේ නැති බැවින් සියලුම බෝට්ටු කාරයෝ පණැති ලින්නො බෝල්ලන් ඇමට යොදා...කෙලවල්ලන් ඇල්ලීමට මාර ගේම් එකක් දුන්නද...
කිසිදු බෝට්ටුවකට බලයන් එකා දෙන්නා මිස කෙළවල්ලකු අහු වුණේ නැත...මෙයට හේතුව ලෙස කොටියා විග්රහ කළේ...
ඉඟුරන් සුලබ කාලයට කෙළවල්ලන් ලින්නො බෝල්ලන් අනුභව නොකරන බවයි...මම මේ කෙලවල්ළන් දඩයම ගැන...
කිසිවක් නොදන්නා නිසා ඔහුගේ කීම පිළිගනිමි.