Sunday, 30 October 2016

ආරියපාල මහත්තයා


                                             මාගේ බ්ලොග් රසිකයෝ සරත් විමලසූරිය වන මා නවනිපැයුම් කරුවකු සහ ඉලෙක්ට්‍රොනික ක්‍ෂේත්‍රයේ පර්යේෂකයකු බව දැනටමත් දනිති. ශ්‍රී ලංකාවට එපාවූ නවනිපැයුම් නමින් ඇති මගේ බ්ලොග් එක බලන්න. 2011 වර්ෂයේ සිට ගෘහ කර්මාන්තයක් වශයෙන් මාගේ නව නිපැයුමක් වන  බහුකාර්ය විදුලිවැට එනජයිසරය (2014 හොඳම වාණිජ කරණය කල නව නිපැයුම...රන් පදක්කම සහ සහතිකය) නිපදවා ගොවීන්හට විකුණන්නට පටන් ගතිමි. මෙය, සීනි, අල, රටළුනු මෙන් සියළුදෙනාටම අවශ්‍ය නොවන දෙයක් නිසා...මසකට විකුණුනේ දෙකක් හෝ තුනකි. පෙන්ෂන් එකට අමතරව එයින් ලැබුණු ආදායමින් මම සෑහීමට පත් වුනෙමි. අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ගැනීමට බැරි නිසා මෙම කුඩා ව්‍යාපාරය කොම්පැණියක් බවට පත්කර මහා පරිමාණයෙන් නිපදවා මෙරට සහ පිටරට  අලෙවි කිරීමට උත්සාහ නොකලෙමි. විදුලි වැට සම්පූර්ණයෙන් ඉදිකර දීමට ඇණවුම් ගණනාවක් ලැබුණත්...අඩු වියදම් විදුලිවැටක් සාදා ගන්නා ආකාරය ගොවීන්ට කියා දුන්නෙමි. 
   
                                       බැලූ බැල්මට මෙම Electric Fence Energizer එක ශ්‍රී ලංකාවේ නිපදවූවක් කියා කිව නොහැකි තරමට, කදිම නිමාවක් සහිතව නිපදවන ලදී. මෙය මෙම උසස් මට්ටමට ගෙන ඒමට වසර දෙකකටත් වැඩි කාලයක් පර්යේෂණ කිරීමට මාහට සිදුවිය. රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ඉලෙක්ට්‍රොනික අමතර කොටස් විනාශ විය. නරක්වූ සර්කිට් බෝඩ්  ගෝණි බාගයක් පමණ ඉතුරු විය   ලංකාවේ වඩාත් උග්‍රවම වල්අලි ප්‍රශ්ණය ඇති, ගල් ගමුවේ පමණක් ගොවීන් 75 ක් පමණ මෙම උපකරණය මගින් තමන්ගේ වගාවන්, නිවාස සහ ජීවිත ආරක්ෂා කරගෙන ජීවත් වෙති. දැන් තමයි මහත්තයෝ අපි නිදාගන්න පටන්ගත්තේ...කියා ගොවීන් එවූ පැසසුම් ලිපි මාලඟ තිබේ. සූර්‍ය බලයෙන් සහ ප්‍රධාන විදුලිය යන දෙකෙන්ම ක්‍රියාත්මක වන නිසා ඝන කැලෑවක ඇති හේනකසිට වුවත් ක්‍රියාත්මක කල හැකි විය. අක්කරයක හේනක් සඳහා...ප්ලාස්ටික් කොකු ගස්වලට සවිකර පැයක් ඇතුලත, ආණ්ඩුවේ විදුලිවැටට වඩා හොඳින් ක්‍රියාත්මක වන විදුලිවැටක් ඉදිකර ගත හැකිය. වල් අලින් පමණක් නොව...හරකුන් ,වඳුරන්, රිලවුන්, ඌරන්, ඉත්තෑවන් ගෙන් හේන බේරා ගැනීමට අවශ්‍ය පරිදි...විදුලි වැට ඉදිකරණ ආකාරය මාවිසින් ගොවීන්ට කියාදෙන ලදී. මෙම උපකරණය මගින් ස්මාර්ට් ෆෝන් චාජ් කරගත හැකි නිසා...විදුලිබල පහසුකම් නැති හේනේ සිටින ගොවියාට සන්නිවේදන පහසුකම් සහ ගොවීන් ගේ දැවෙන ප්‍රශ්නයක් වන...ෆේස් බුක් යෑමට බැරිකමේ ප්‍රශ්නයද මාවිසින් විසඳන ලදී.   
                           අලියකු ගම්වැදුන විට, මෙම පෝටබල් එනජයිසරය පාවිච්චි කර...විනාඩි 10ක් ඇතුලත කම්බියක් ඇද...තාවකාලික විදුලිවැටක් ඉදිකර අලියා තමන්ට අවශ්‍ය දිසාවට යොමුකර කැලයට පලවා හරින ආකාරය මාවිසින් හිටපු වනජීවී අධ්‍යක්ෂක ජනරාල්ට කියාදී...එනජයිසරයක් නොමිලේ වනජීවී දෙපාර්ත මේන්තුවට ලබා දෙන ලදී...අලි මිනිස් ගැටුම ගැන පිටරට සම්මන්ත්‍රණ ගණනාවකට සහභාගීවී දැනුමෙන් සන්නද්ධවූ එතුමෝ...මේක ගණන් ගත්තේ නැත...          
මෙහි ක්‍රියාකාරිත්වය නැරඹීමට මෙම ලින්ක් එකට යන්න...
https://vimeo.com/39816263       
                              
මසකට සෙට් 4ක් 5ක් පමණ විකිනෙන මට්ටමට පැමිණි විට...ට්‍රාන්ස්ෆෝමර් ඔතන්නකුගේ සහාය මට අවශ්‍ය විය. මේ සඳහා වෙනත් ව්‍යාපාරයක පාට් ටයිම් වැඩකරන... ට්‍රාන්ස්ෆෝමර් ඔතන්නකු වූ ආරියපාල මහත්තයා  කැමති විය...එම ආයතනයේ වැඩ නොමැති දිනවල ඔහු මාගේ නිවසට පැමිණ ට්‍රාන්ස්ෆෝමර් ඔතාදී මුදල් රැගෙන ගියේය. පසුව ඔහු ට්‍රාන්ස්ෆෝමරයකට ගෙවන මුදල මදි යයි කිවූ බැවින්...එකකට රු 450 දක්වා ඔහු ඉල්ලූ ප්‍රමාණයට වැඩි කරණ ලදී. ආරියපාල මහත්තයා ඉතා සෙමින් කතාකරන (ටෙලිෆෝන් කරන විට ඇහෙන්නේම නැත)...කිසිම දිනක එකම සිගරට්ටුවක් හෝ අරක්කු වීදුරුවක් බීනැති...ගීනස් පොතට යායුතු...කිසිම දවසක කුණුහරුපයක් කියානැති...පට්ටම අහිංසක...සුපර් අවංක චරිතයකි...වයස අවරුදු හැටහතරක් වූ කෙසඟ පුද්ගලයෙකි. නමුත් මොහු ඇතුලතින් ඉතා අහංකාර...මුරණ්ඩු චරිතයක් බවද මම වටහා ගතිමි.   වරක්ෂොප් එකේ,  පර්ස් එක, ෆෝන් එක හෝ මුදල් මාහට අමතකවී ආවිට (මට මේ දැන් තියනදේ...මේ මතක නැත... කාර් එකෙන් ටවුමට ගොස්...පයින් ගෙදර එන ජාතියේ එකෙකි මම) රුපියලක අඩු පාඩු නොමැතිව මට බාර දෙයි. ඉතිං මේ සුපිරි අවංක වසරකට වරක් දෙවුන්දර දේවාලෙට, කතරගමට යන බෞද්ධයාට... Electric Fence Energizer නිපදවන අන්දම මාවිසින් ගුරුමුෂ්ටි නොමැතිව කියාදෙන ලදී. නිර්මාණය ඩුප්ලිකේට් කරන්නන් ගෙන් මාගේ නිර්මාණය බේරා  ගැනීම සඳහා අමතර කොටස්වල අංක මැකීමද ඔහු වෙතම බාර දෙන ලදී. ඉතා සෙමින් වැඩකරන ඔහු කදිම නිමාවෙන් යුතු උපකරණ නිපදවීය. එකකට කීයක් උවමනා දැයි ඇසූවිට රුපියල් 1000ක් අවශ්‍ය බැව් කීය... ව්‍යාපාරය තරමක් දියුණුවූ බැවින් වරින්වර ගාස්තුව වැඩිකර දැන් ගෙවනුයේ1650/=ක මුදලකි. උදේ 9සිට හවස 5 දක්වා වැඩකළ දිනවල ඔහු උපකරණ දෙකක් නිපදවීය. පෙට්ටි සහ සර්කිට් බෝඩ් ප්‍රින්ට් කිරීමට වෙනම මුදල් ගෙවන ලදී.
                     අවාසනාවන්ත ලෙස මේ අහිංසකයාගේ කකුලේ පිළිකාවක් සෑදුණි. ඒ සඳහා මහරගම ගොස් ප්‍රතිකාර ලබාගැනීමට මම උදව් කලෙමි. නිසි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් පිළිකාව නිට්ටාවට සුව විය. කරදර එනවිට පෝළිමට එයි...ඔහුගේ බිරිඳගේ අවිවාහක අයියා එකවරම අංශභාගය සෑදී ඔත්පල විය. ඔවුන් පදිංචිවී සිටින්නේ අයියාගේ ගෙදරය. (මොහු ඉතා ගුණ යහපත් පුද්ගලයෙකි). ඔහුට අමාරුවී මාහට දැන්වූ විට...වරින් වර ගොස් පරීක්ෂා කල අතර...දියණිය උසස්පෙළ සමත් වුවහොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වියදම් දීමටද පොරොන්දු වුනෙමි. ආරියපාලගේ පුතාට මගේ ඩෙක්ස්ටොප් පරිඝනකය තෑගි කලෙමි....ආරියපාල මහත්තයාට මාවිසින් ජංගම දුරකථනයක් ද ලබා දෙනලදී. මැරයකුවූ ඔහුගේ පුත්‍රයා වහාම අහිංසක ආරියපාලගෙන්  මෙම දුර කථනය උදුරා ගත්තේය. ආරියපාල ඇමතුම් වලට පිළිතුරු නොදෙන බැවින්...මාවිසින් රකථනය ආපසු ලබාගන්නා ලදී...වයස 20ක්වූ පුතා 27ක්වූ විවාහක ගැහැණියකට සෙට් වී ඇති බවදුරකථනයේ ඇති SMS පරීක්ෂාවේදී හෙළිවිය. මේ බව මාවිසින් ආරියපාලට වහාම දැන්වූ යෙමි....පසුදින තෝ මට අහුවෙන්න එපා මරණවා යනුවෙන් සඳහන් SMS එකක් මාහට ලැබී තිබුණි...මම වහාම ආරියපාලගේ නිවසට ගියෙමි...ඇයි ඩොක්ට හදිසියේ ආරියපාල ඇසුවේය...කව්ද පරයෙක් මාව මරණවා කියලා SMS එකක් එවලා තියෙනවා...උගෙන් මැරුම්කන්නයි මං ආවේ කියා...මම බෙරිහන් දුන්නෙමි...පච්ච කරා...බලපිටියේ උපන් අහිංසක මට මුහුණදීමට එලියට ආවේ නැත...අම්බලංගොඩ හොඳ මිනිස්සු බල්ලෙක් කකුල කෑවිට බල්ලාගේ කකුල නොසපති...හැබැයි බල්ලාගේ කොන්දට පොළුපාරක් නම් වරදින්නේ නැත.        
             ගිය අව්රුද්දේ ඔක්තෝම්බර් මාසයේ මාගේ හොඳම මිතුරෙක් වන සරත් පැටිකිරිකෝරාළ, ඕස්ට්‍රේලියාවේ මාසයක නිවාඩුවක් ගතකිරීමට මට ආරාධනා කළේය. උපකරණ 30ක් සෑදීම සඳහා අවශ්‍ය ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ් සහ  අවශ්‍ය අමතර කොටස් ආරියපාල මහත්තයාට බාරදී...ඕස්ට්‍රේලියාව බලා පිටත්වුනෙමි...මා ආපසු එනවිට ආරියපාල මහත්තයා එකම එනජයිසරයක් වත් නිපදවා තිබුනේ නැත...මගේ ළඟ ඉතුරුවී තිබූ එනජයිසර් හතර විකිණී අවසන්වී තිබුණි.  ආරියපාල මහත්තයා...කෝ සර්කිට් ගැහුවේ නැද්ද කියා මම ඇසුවෙමි...හරි වැඩේ ඩොක්ට උනේ...අපේ ගේ පේන්ට් කරද්දී බඩු අස්කරන කොට අපේ නෝනා ඔක්කොම සර්කිට් ටික කුණු බෑග් එකකට දාලා කුණු ලොරියට දීලා...එයා ඉතිං ඕව අඳුනන්නේ නෑනේ...මළ කෙළියයි...එහෙනං ඉක්මනට බෝඩ් ප්‍රින්ට් කරලා වැඩේ පටන් ගමු ඕඩර්ස් තියෙනවා බඩුනෑ...හරි හරි ඩොක්ට දැන්ම පටන් ගමු...ඉක්මනින්ම එනජයිසර් 10ක් නිපදවා ව්‍යාපාරය යථා තත්වයට පත් කරන ලදී...ක්‍රමයෙන් වසරක් තුල මගේ ව්‍යාපාරය බංකොලොත් තත්වයට පැමිණි අතර...ෆයිනල් ට්‍රාන්ස්ෆෝමරය පිළිස්සුණු උපකරණ බහුල වශයෙන් රෙපයාර් සඳහා ලැබෙන්නට විය... සමහර එනජයිසර් මාසයක් ඇතුලත කැඩුණු අතර...වසරක වගකීමක් ඇති බැවින් ඒවා ආරියපාල මහත්තයාටම මුදල් ගෙවා...නොමිලේ රෙපයාර් කර ආපසු යැව්වෙමි....පාරිභෝගිකයෝ මට බැණවැදී මගේ උපකරණය ගැන ඇති විශ්වාසය නැතිකර ගත්හ...ඇණවුම් අඩුවී...පසුගිය මසවනවිට ව්‍යාපාරය බංකොලොත් තත්වයට පත් විය. පසුගිය වසර පුරා මාලඟ තිබූ අමතර කොටස් අසාමාන්‍ය ලෙස අඩුවන බවක්ද දක්නට ලැබුණි. පිළිස්සුනු ට්‍රාන්ස්ෆෝමර් පරීක්ෂා කිරීමේදී ඒවා නිසිලෙස ෂැලැක් යොදා සීල්කර නොමැති බව හෙළිවිය.   
                      පසුගිය සතියේ මගේ හිතවත් කැකිරාවේ කස්ටමර් කෙනෙක්වූ අනුරුද්ධ නමැති තක්කාලි සහ කොමඩු වගාකරන තරුණ ගොවියා...මට දුරකථන ඇමතුමක් දුන්නේය...සර් දැන් මට මාතර ආරියපාල කියල කෙනෙක් කතාකලා...එයා ළඟ අඩු ගානට හොඳ වර්ගයේ එනජයිසර් තියෙනවා කිව්වා...ඩොක්ටර් ගේ එකවගේ ලේසියෙන් කැඩෙන්නේ නෑ කිව්වා. දැන් ඩොක්ටර්ට බිස්නස් නැති නිසා...එයා තමයි මේවා හදන්නෙ කිව්වා...අනුරුද්ධ ඉක්මනට ආයෙත් කෝල් කරලා දෙකක් ඕඩර් කරන්න...කෝල් එක රෙකෝඩ් කරන්න...අනුරුද්ධ කෝල් එක රෙකෝඩ් කර...මට ෆෝවඩ් කලේය...ආරියපාල ඔහු අමතා ඇත්තේ අලුත් නොම්මරයකිනි...එම නොම්මරයටම මගේ මිතුරකු ලවා ආරිය පාලට කතාකර එකක් ඕඩර් කලෙමි...සම්පූර්ණ දුරකථන සංවාදයම පටිගත කලෙමි.
                               එදිනම මා කිසි වෙනසක් නොපෙන්වා ආරියපාලගේ නිවසට ගියෙමි...නිවස අලුතෙන් පේන්ට් කර දිස්නය දෙයි...දුව ලැප්ටොප් එකක අධ්‍යාපන කටයුතු කරමින් සිටී...ආ ඩොක්ට වැඩිවෙන්න ආරියපාල කිව්වේය...බිස්නස් අඩු නිසයි ඒපැත්තේ ආවෙ නැත්තේ...අලුතෙන්ම අරගත් පොලිතීන් කොළයකින් වැසූ පුටු සැටියේ වාඩිවුනෙමි...පුතා ඩෙක්ස්ටොප් කම්පියුටරයක ෆිල්ම් බලනවා දොරරෙද්ද අතරින් පෙනේ. මේසය උඩ ස්මාර්ට් ෆෝන් එකක් තිබේ.   
                           එදිනම සාපරාධී විශ්වාසය කඩකිරීම බුද්ධිමය දේපල පණත උල්ලංඝනය කිරීම යටතේ පොලීසියට පැමිණිලි කලෙමි...පැමිණිලි විභාගයේදී සුපිරි අවංක පුද්ගලයකු ආරියපාල මහත්තයා කිව්වේ තවමත් ඔහු එකක් රුපියල් 20000හ ගණනේ  විකුණා ඇත්තේ සෙට් 10ක් පමණක් බවයි. එය සත්‍ය ගණන නම් රුපියල් ලක්ෂ දෙකක් ඔහු වංචාවෙන් උපයා තිබේ. මගේම බඩු හොරකම් කර, මගේම ඊයම් වලින්,මගේම බවුත් එකෙන් පාස්සා, මගේම වයින්ඩරෙන් කොයිල් ඔතා...මගේම කස්ටමර්ලාට අඩුමිලට විකුණා...තමන්ට කන්න බොන්න දුන් දුකසැප බැලූ  මට...ආරියපාල හොඳ එකෙන්ම ඇරියේය. 
                  සාපරාධී විශ්වාසය කඩකිරීම සහ (මාහට පේටන්ට් බලපත්‍රයක් ඇති බැවින්)...බුද්ධිමය දේපල පණත උල්ලංඝනය කිරීම යටතේ ආරියපාලට විරුද්ධව සිවිල් නඩුවක් පැවරීමට මාගේ නීතීඥයාට බාරදුනිමි...
                            අවංක නිලධාරීන් සිටින ශ්‍රී ලංකා පොලීසිය කුමක් කරාවිද ? ආරිය පාලටද බිරිඳක් සිටින නිසා උසාවිය නිහඬ වෙයිද ?...කියා මා දන්නේ නැත.  


##දැන් ඔබේ කමෙන්ට් එක මං දන්නවා...අයියෝ ඩොක්ටර් දැන් කාලේ කිසිම මිනිහෙක් 100%ක් විශ්වාස කරන්න එපා !...නෑ...මම තවමත් මිනිසුන් විශ්වාස කරමි !##              

Thursday, 20 October 2016

JVP/දේශප්‍රේමීන් (5)

                      සරත් පැටිකිරිකෝරාළ බදුරලියේ සිටි මගේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ් විය. වෙනත් කිසිම යාලුවෙක් මම ආශ්‍රය කලේ නැත. එයා මතුගම වර්ක්ෂොප් එකක් දාගෙන ඉන්න ජර්මන් ටෙක් පුහුණුව ලත් CTB එකේ මුලින් වැඩකල හොඳම වැඩකාරයෙකි...( දැන් ඔහු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙකි )... මං වගේම ආගම් කිසිවක් අදහන්නේ නැති එකෙකි. දවස් දෙක තුනකට වරක් හවසට වෝ ෆිල්ම් එකක් බලමින්...බ්‍රැන්ඩි හෝ විස්කිබීම අපි දෙන්නාගේ සිරිත විය. මචං මේ මගුල හරියන්නේ නෑ ඇමරිකාවට පැනල යමු ! මම යෝජනා කලෙමි...එන පොට හොඳනෑ රෝහලේ කතන්දර සේරම මම ඔහුට කිව්වෙමි. පාස්පෝට් එකක් තියෙනවද...ඔව්...එත් කවදාවත් රට ගිහිං නෑ...හරි මගේ මල්ලි ඉන්නෙ ජපානෙ...ජපන් කෙල්ලෙක් බැඳල ඉන්නෙ...මටත් මේ අපාය තිත්ත වෙලා ඉන්නෙ...වරක්ෂොප් එකටත් වැඩ නෑ...හැමදාම තුවක්කුව ඇඳට හේත්තු කරගෙන නිදා ගන්නෙ...අපි ඉස්සෙල්ල ජපන් යමු...එතනින් වීස හදාගෙන නිව්සීලන්ඩ් යමු. මගේ හොඳ යාළුවෙක් ඉන්නව නිව්සීලන්ඩ් වල...සුමාන දෙකකින් ස්පොන්සර් ලෙටර් ගෙන්නගෙන වීස හදාගන්න පුළුවන්...හරි යමං...එත් ළමයි ගෑණු...? ඒගොල්ලො පස්සෙ ගෙන්න ගමු...ඉස්සෙල්ල අපි පනිමු...සති තුනක මහන්සියෙන් ජපානයට පලායෑමට අපි වීසා හදා ගත්තෙමු...මාස තුනකට වීසා ලැබුණි...දැන් “කාලා මාරු” ජපන් නැවෙන් යන්න බෑග් එක පැක්වී තිබේ....ලබන සතියේ ටිකට් අරන් පණිමු.
                        ඉස්පිරිතාලේ මොනම බෙහෙතක් වත් නැත...කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගුණ යහපත් පුද්ගලයකුවූ වෛද්‍ය බොතේජු JVP තර්ජන නිසා ඉල්ලා අස්විය. පොලීසියට ගොස් රෝහලේ තත්වය ගැන දැන්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය රෙජී පෙරේරා මහතාට කතා කලෙමි...හොස්පිටල්එකේ කිසිම බෙහෙතක් නෑ...සර් JVP එකෙනුත් කරදර තියෙනවා...මම භීෂණ කතන්දරේ කෙටියෙන් කිව්වෙමි...හරි මං පිඹුරේ හොස්පිටල්එකෙන්...ඇම්බියුලන්ස් එකේ දාල බෙහෙත් ටිකක් එවන්නම්...JVP කාරයෝ රෑටහොස්පිටල් එකේ බිත්ති වල පෝස්ටර් අලවනවා...ගලවන්නත් බෑ තියාගෙනත් බෑ...හරි හරි අයිසේ..ඔය JVP ළමයින්ට කියන්න හොස්පිටල් එකට කරදර කරන්න එපා කියල...සර් කිව්ව කියල කියන්නද ?...මම පොඩි කින්ඩියක් දැම්මෙමි...ලොක්කාට මළ පැන්නේය...මේ ඕයි...තමුසෙට පිස්සුද ? මම කිව්ව කියල නෙවෙයි ඕයි...නිකං කියනවා...දඩස් ! කෝල් එක ඉවරයි...උඩපන්දුවකින් පිතිකරු දැවී ගියේය. දවස් දෙකකින් බෙහෙත් ටිකක් එවා තිබුණි.
                
                  දවසක්  දවල්  දොළහට පමණ පොලිස් ජීප් දෙකක් කෙළගෙන ඇවිත් මිදුලේ බරාස් ගා බ්රේක් ගැසුවේය...මම OPD එක ඉවරවී ආපසු එමින් සිටියෙමි...ASP උඩවත්ත...ලොකු මැෂින් තුවක්කුවක් අරගෙන පළමුව බැස්සේ ය...ජීප් දෙකේම සියළුම කොස්තාපල් වරු අත T56 අවි තිබේ...මොකක් හෝ ජල්බරියකි...උඩවත්ත ලොක්කා මා හඳුනා ගත්තේය...ඩොක්ටර් අපේ ජීප් එකකට JVPකාරයෝ ඇටෑක් කළා...වෙඩි තියල බෝම්ම ගැහුවා දෙන්නෙකුට තුවාලයි..පොඩ්ඩක් බලන්න...PCලා දෙන්නෙකුට තුවාල සිදුවී ඇත කිහිපයක්ම ලේ ගලන තුවාල වුවත් බරපතල ඒවා නොවේ. ඒවාට බෙහෙත් දමා එක් අයකුගේ කකුලේ ඇමිණී තිබූ යකඩ කැබැල්ලක් අයින් කලෙමි...මොකද උනේ...ඊයෙ රෑ JVP කාරයෝ  අත්වැල්තොට සමූපකාරේ කඩල බඩු අරන්...ඒක බලන්න යනකොට කන්දක් උඩ ඉඳන් ජීප් එකට බෝම්බ ගහල වෙඩි තිබ්බ...මේ ගොල්ලොත් වෙඩි තියල තියෙනවා....ජීප් එකේ සෙට් එකෙන් කතාකරල කිව්වම මාත් ගියා. මේ දෙන්නගේ ආරක්ෂාවට අපි හොස්පිටල් එකට ගාඩ්එකක් දානවා! මරු...තුම්සෙ අච්චා කෝන්හේ.
                       ඩොක්ටර් JVP කාරයොන්ටත් අපිට නොදන්වා හොරෙන් හොරෙන් බෙහෙත් කරනවා කියල අපට ආරංචියි...බදුරලියේ OIC, ASP ඉදිරිපිටම මට කිව්වේය...මගේ කොඳු ඇට දිගේ පොඩි සීතලක් ගලා ගියේය....JVP නෙවෙයි LTTE කාරයෙක් උනත් ලෙඩෙක් විදියට ආවොත් මං බෙහෙත් කරනවා... OICහෝ ASP කිසිවක් නොකියා යන්නට ගියෝය...පසුදා උදේ කොල්ලෝ තුන්දෙනෙකුගේ මළසිරුරු පොලීසිය ඉදිරිපිට පාරේ ප්‍රදර්ශණයට තබා තිබුණි. මුන් සේරම දන්නවා...කාලෝ අයන්තේ... වහාම පලායා යුතුය...අපි ෆ්ලයිට්එක සඳුදාට සෙට් කර ගත්තෙමු...ඉරිදා රෑ රෝහලෙන් පලා යෑමට තීරණය කලෙමි...ඉරිදා හවස ලොරි බාගයක් ගෙන්වාගෙන බඩු...ලට්ට ලොට්ට ඔක්කොම වහ වහා පැටෙව්වෙමි. සර් හොස්පිටල්එක දාල යනවද...නෑ...නෝනයි බබයි දාල මං හෙට උදේ  ආපහු එනවා...මෙහේ තත්වේ හොඳ නැති බව දන්නවනේ...ඔව් සර් එහෙම කරන එක හොඳයි ...නිමල් කිව්වේය. අද මං නැතිබව කාටවත් කියන්න එපා...අගලවත්තට ගියා දැන් තව ටිකකින් එනව කියන්න.
                                                 මේ ලස්සන ප්‍රදේශයෙන් යන්නට වීම මහා දුකකි...එත් අකාලයේ වෙඩි උණ්ඩයකට නිකරුනේ බිලිවීමේ තේරුමක් නැත. Bye Bye Sweet Baduraliya...සිතින් කියමින් සුන්දර බදුරලියෙන් මම පලා ගියෙමි. කෙලින්ම මාතර ශාමාගේ මහ ගෙදරට අපි පැමිණියෙමු. පොඩි එකී දමා යන්නට වීම මහා දුකකි...කරන්නට දෙයක් නැත...සඳුදා රෑ අපි ජපානයේ නරිතා ගුවන් තොටුපල බලා පිටත් වුනෙමු  දුක හා සතුට දෙකම නැති...මොකක්දෝ කාලකන්ණි යමක් පපුවේ හිරවී තියෙනවා වැනි හැඟීමක් පළවෙනි ගුවන් ගමන පුරාම මට ඇතිවිය....ජපානයත් ඇතුළු ලෝකය පුරාම රවුම් ගසා ඇති සරත්ට මොනවගේ හැඟීමක් තිබුණාදැයි මා දන්නේ නැත.හොඳහැටි විස්කි වලින් සප්පායම් වූ අපි දෙන්නා...ගොළුවන්සේ නින්දට වැටුනෙමු. උදේ නරිතා ගුවන් තොටුපලින් ගොඩ බැස එලියට ආවිට...ජපානයේ ශ්‍රීවිභූතියෙන් මගේ දෑස් නීලංකාර විය...ෂික්...මොන තරම් කාලකන්නි රටකද අපි ජීවත් වෙන්නෙ...ලෝකෙන් උතුම්රට...ඉන්දියන් සාගරේ...අමුතුඇටේ...බම්බුව තමයි !.  

අවසානය මෙය නොවේ...                                

Wednesday, 19 October 2016

JVP/දේශප්‍රේමීන් (4)

                               ...වහාම ශ්‍යාමාට කතාකර තත්වයේ බරපතල කම පැහැදිලි කලෙමි...ඔයා ඇයි උන්ට විරුද්ධව කතා කලේ...මනුස්සයෝ තව ටිකකින් පොලීසියෙන් ආවොත්...මුන් වාට්ටුව ඇතුලේ වෙඩිතියා ගන්නවා...අහිංසක මිනිස්සුත් මැරෙයි තව එවුන් පිටිපස්සේ කැලේ හැංගිලා ඇති...ඒකයි මුන් බය නැතුව ඉන්නේ...දැන් ගොඩක් අය දන්නවා...මං ලෙඩ්ඩු ගොඩක් ටිකට් කපලා යැව්වා...OPD එක වහල දැම්මා....තව වැඩිවෙලා යන්න ඉස්සර පොලීසියට ටිප් එක යනවා. ඉතිං මොකද දැන් කරන්නේ...? මං කලින් උගන්නපු විදියටම කරන්න...ඔයා බබත් එක්ක නාන  කාමරේට ගිහිං දොරවහ ගන්න...මුන් ඇතුලට ආවොත් ෂුවර් එකටම මාව මරණවා...වැන්දට වැඩක් වෙන්නෙ නෑ...කලබලයක් වුනොත් රතිඥඥ මිටියයි ගිනිපෙට්ටියයි...ෆෑන් ලයිට්එක උඩ තියෙනවා...පත්තු කරලා එලියට දාන්න (චෝදනාව රතිඤ්ඤා පත්තු කර...අණදෙන නිලධාරී කීර්ති විජේබාහුගේ...දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිය වැද්දීම) පොලීසියට සද්දෙ ඇහුණම එයාල එයි...! (එයිද ?)
                               දොර කඩාගෙන ආවොත්...මාළු පාන් දෙකෙන් දමා ගසා පස්ස දොරෙන් දිවීමට ලෑස්තිවී...දොර රෙද්දට මුවාවී සිටියෙමි...පැයක් විතර ඇලර්ට් එකේ හිටියත් කව්රුවත් ආවේ නැත....කව්දෝ පිටිපස්සේ දොරට සෙමින් තට්ටු කරයි... රෝහල් සේවකයන්ට මා දැනුම්දී තිබුනේ ඕනම වෙලාවක මට කතාකරන්න ඕනෙ නම් ඉස්සරහ දොරට නොව පිටිපස්සේ දොරට තුන්වරක් තට්ටු කරන ලෙසටය...හරි...ඉස්පිරිතාලෙන් තමයි...කව්ද ?...සර් මම නිමල්...වහාම දොරඈරියෙමි...සර් අරුන් ලෙඩා අරන් ගියා...නිමල් බැටරි බැහැපු රේඩියෝඑකක් වගේ...මගේ කනට ලංවී කොඳුරයි...ඇත්තද ? ඔව් සර්...ත්‍රීවීල් එකකින් එක්කං ගියා...හම්මේ යන්තං ඇති...එත් මගදී පොලිසියෙන් ඇල්ලුවොත් මට හෝටල් දෙකෙන්...එකකින්... ෆ්‍රයිඩ් රයිස් & චිකන්කරි...කන්නට සිදුවීමට ඉඩ තිබේ...ශාමා උන් ගියා...
                               සාමාන්‍යයෙන් දවල්ට බොන්නේ නැති උනත්...ටෙන්ෂන් එක අඩුවෙන්න බ්‍රැන්ඩි ෂොට් එකක් දමා... ඔළුව සැහැල්ලු කරගෙන දවල්ට කෑවෙමි. හවස පහට පමණ දුව සමග මිදුලේ ඇවිදිමින් සිටිනවිට ත්‍රී වීල් එකකින් රෝගියකු රැගෙන එනු පෙනුනි එය රෝහලට නොගොස් කෙලින්ම ආවේ බංගලාවටය...එයින් කොල්ලෙක් බැස කෙලින්ම මාළඟට ආවේය...සර් අර ලෙඩාට ඉන්ජෙක්ෂන් එක ගහගෙන යන්න ආවේ...මළ කෙළියයි ගේම ඉවර නැත...කෙලින්ම OPD එකට යන්න...වාට්ටුවට යන්න එපා...මං යතුර අරන් එන්නම්...මේ බෙහෙත් කිරිල්ල තවදුරටත් ප්‍රසිද්ධියේ කලයුතු   නැත...කොහොම උනත්...මේ මෝඩ කොල්ලා මට තවත් රෝගියකු පමණය...ඌ සුවපත් කිරීමට මා දිව්රුම් දී තිබේ...මේ විදියටම ඇවිත් තව දවස් දෙකක් බෙහෙත් විදගන්න...තුවාල පැසවල නෑ...දිනපතාම කොල්ලා රෝහලට විත් බෙහෙත් විදගෙන ගියේය...කොල්ලා සුව අතට හැරුණි...අන්තිම දිනයේ ඌට බොන්නට බෙහෙත් දී...මේ කූඩැල්ලා ගලවා දැමුවෙමි.
                      JVP මිනී මරා ඔළු කපා වැටේ හිටවනසෙල්ලම, පාරට ගස් කපා ඇඳිරිනීති දාන සෙල්ලම, ට්‍රාන්ස්ෆෝමර් බස්, තේ කර්මාන්තශාලා, කෘෂිකර්ම මධ්‍යස්ථාන, උප තැපැල් කාර්යාල ගිණිතබන සෙල්ලම...ආණ්ඩුවේ ටයර් සෙල්ලම එක දිගට තරඟෙට සිදුවෙයි...ඇහැට ඇහැකි...රේඩියෝ එකෙන් TV එකෙන් වැක්කෙරෙන්නේ මේවාය. මම TV බැලුවත් TV බැලීම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය විසින් තහනම් කර තිබේ....මට අටෑච් බාත්රූම් තිබේ...නමුත් බොහෝ දෙනා රෑට චූකරන්නේ බෙලෙක්ක වලටය. දවස් ගණන් රෝහලේ  ලයිට් නැත ඒනිසා වතුරත්නැත...වෙනදා ත්‍රිපෝෂ ගන්නට පොරකන...මව්වරුන් කව්රුවත් එන්නේ නැත...ත්‍රිපෝෂ කුණුවී පණුවන්ගසා රෝහලම ගඳගසයි...මම ඒවා කැලයට අද්දවා වලලා දැමුවෙමි. මාස තුනකින් බෙහෙත් ආවේ නැත...පිරිටන් පැනඩෝල් පවා ඉවරවෙමින් පවතී...මම මේ කුණුගොඩෙන් වෙනත් සාම කාමී රටකට පලායායුතුය...ඒ සඳහා සැලසුම් කලයුතුය.

                    දින දෙක තුනක් ගතවිය ලයිට් නැති නිසා බිම වැටී ඔළු පලාගෙන එන ලෙඩුන්ගේ තුවාල ටෝච් එළියෙන් බලමින් මැහුම් දැමුවෙමි...සර් සර් ඉක්මනට එන්න බබෙක් හම්බවෙන්න ඉන්න එක්කෙනෙක් ගෙනැත්...රෑ නමයට විතර දොරට ගසමින් කළුගලයා මොරදෙයි...සර් ලෙඩාට අමාරුයි... ඉතිං මෙහේ ගෙනැත් තියෙන්නෙ ඇයි පිඹුරට යන්නෙ නැතුව...ලයිටුත් නෑනේ...සර් පාර බ්ලොක් නිසා යන්න බැරුව ආපහු ඇවිත්...ග්ලවුස් නම් තියෙනවා...පොඩි අඩු පාඩුවකට ඇත්තේ...මිඩ්වයිෆ්ලා, නර්ස්ලා සහ ලේබර් රූම් එකකි...හරි යමං...රෝගියා කෙඳිරිගාමින් ට්‍රොලිය උඩ සිටී...ඇගේ මව...බුදු සර් කෙල්ලට අමාරුයි... කියමින් මගේ ඇඟේ එල්ලෙයි...තරුණ කෙල්ලෙකි...පළවෙනි බබාය..ඔය ට්‍රොලිය කාර්එක ඉස්සරහට තල්ලු කරන්න...ස්ක්‍රීන් දෙකකින් කවර් කරන්න...ඉක්මනට කාර් එකේ යතුර නෝනගෙන් ඉල්ලන් එන්න...පළමුව ග්ලවුස් දාගෙන ටෝච් එක ගසා ඩිලිවරි එකේ ස්ටේජ් එක බැලුවමි....ලෙඩාගේ BP, නාඩි, හාට්, අව්ලක් නැත...හරි ඔළුව තමයි එන්නේ...පිඹුරේදී...බේකරියේ පාන් බානවා මෙන් ළමයි බාපු මට...මේක ගේමක් නොවේ...කාර් එකේ හෙඩ් ලයිට් දෙකේ එළියෙන් පැය එකහ එකහමාරකින් පමණ...ඩිලිවරියඉවර කලෙමි...හෙට ඉතිං තල්ලු ස්ටාර්ට් තමයි...අලුත උපන්නේ ගැහැණු  දරුවෙකි...එපිස් එක කලත්...මහන්න කැට්ගට් නැත...හෙට උදේට පිඹුරට යවනවා...ලෙඩා ඇඳකට දමා සේලයින් එකක්දී ආපසු එනවිට...කෙල්ලගේ අම්මා...බුදු සර් මගේ කෙල්ල බෙර ගත්තා කියා මට දණගසා වැන්දේය...හාමුදුරුවරුන්ටත් වඳින එකේ... මට වැන්දට මක් වෙනවද ? මං එපා කිව්වේ නැත !. 

මතු සම්බන්ධයි...             

JVP/දේශප්‍රේමීන් (3)


                                සියළුම හමුදා සහ පොලිස් සාමාජිකයින්ට රජයේ සේවයෙන් අස්වන ලෙසත් නැත්නම් පවුලේ සාමාජිකයින්ට මරණ දඬුවම දෙන බවත් දන්වා JVP/දේශප්‍රේමීන් විසින් පෝස්ටර් ගසා තිබුණි. දවසක් මහරෑ එකට පමණ ජීප්රථයක් රෝහලට පැමිණෙන සද්දය ඇසුනි...කුණුහරුප කියමින් මහ හඬින් කෑ ගසන ශබ්දයත් ඇසුණු නිසා ජනෙල් රෙද්ද මෑත් කර බැළුවෙමි...  පැමිණ ඇත්තේ හමුදා ජීප් රථයකි...කෝ මේ දොස්තර...කියමින් ආමි කාරයෝ මගේ නිල නිවසට පැමිණ දොරට තඩිබාන්නට වූහ. ඩොක්ට ඉක්මනට දොර අරින්න...මම වහාම දොර ඇරියෙමි...ආයුධ සන්නද්ධ හමුදා භටයෝ පස්දෙනෙක් පැමිණ ඇත...ඇයි ? ඩොක්ට ඉක්මනට යන්... JVP ##@පුතාලා අපේ එකෙකුට වෙඩි තියල...ගොඩක් අමාරුයි...සරම පිටින්ම නලාවත් අරගෙන වාට්ටුවට දිව්වෙමි...
                              ට්‍රොලියඋඩ සරමක් ඇඳගත්...උඩුකය නිරුවත් හොඳින් වැඩුණු තරුණයෙක් උඩුබැලි අතට වැතිර සිටී....JVP කාරයෝ නිවාඩු ආපු මෙයාට...ගෙදරට ඇවිත් වෙඩිතියලා...යුනිෆෝම් ටික අරන් ගිහින්...ඩොක්ට ඉක්මනට මොනව හරි කරන්න... පපුවේ මැද වටේට කළුවූ ගන් ෂොට් ඉන්ජරියකි...ඉතාම ළඟ සිට වෙඩි තබා ඇත. රෝගියා මිය ගොස් ඇති බව වහාම වැටහුනත් එකවරම කියන්නත් බැරිය...කාඩියැක් මසාජ් එකක් දෙන්නට පටන් ගත්තෙමි...ඉල ඇට කැඩෙන ගානට තෙරපිය යුතුය...ප්‍රොෆෙසර් කොල්වින් ගුණරත්න සහ ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකා කොළඹ වෛද්‍ය විද්‍යාලයේදී අපට ඉගැන්නුවේ එහෙමය...පපුව තෙරපන විට...  පිට පැත්තෙන් චූෂ්... චූ ෂ්...ගාමින් ලේ එනවාය...තව දුරටත් බොරු කරලා වැඩක් නැත...මෙයා නැතිවෙලා...(මැරිලා කියන එක හරි මදිය)...මොනවා...අපි දැන්ම ඕකුන් හොයලා ටයර්එකේ යවනවා...ආමි කාරයෝ යන්නට සැරසෙති...එතකොට මේ  බොඩි එක...? පොලීසියට දන්නල තියෙන්නෙ... බොඩි එක ගෙනියන්න හෙටඋදේ එනවා. ඔව්හු ජීප් එක හරවා ගෙන යන්නට ගියෝය. මෝචරියක් නැති නිසා මිණිය කොටු රෙද්දකින් වසා ට්‍රොලියඋඩම තිබෙන්නට හැරීයෙමි. පොලීසිය රෑ ආවේ නැත.
                                   රෝගීන් එකා දෙන්නා පළායෑමට සැරසෙන බව දුටු මම...ටිකට් නොකපා එක්කෙනෙක් වත් ගෙදර එහෙම යන්නෙ නෑ...මම මෙතනම ඉන්නවා...ගියොත් මාත් ඉස්පිරිතාලේ වහල ගෙදර යනවා...ලෙඩ්ඩුන්ට පොඩි ගෝරියක් දැම්මෙමි...ඔව්හු අකුලා ගත්හ... එළිවෙනතුරු JVP භීෂණ කතා අසමින් වාටුවට වී සිටියෙමි...සර් මුන් ඇවිත් ඔළුව කපන් යයිද...නෑ ඕකුන් එන්නෙ නෑ...මම ඔවුන් අස්වැසුවෙමි. පසුදින උදේ රෝහල අසල මහ පාරේ දෙදෙනෙක් ටයර් එකේ ගොස් තිබුණි...සැක කරුවන් සොයා...නඩු අසා මරණ දඬුවම දීලාත් ඉවරය. ගමේ මිනිස්සුන්ගේ මූණු වල ලේ කඳුලක් නැත...කොයි පැත්තෙන් කන්නට වෙයිද දන්නේ නැත... භීෂණය දෝරේගලායයි... උදේ පාන්දරම පොලීසිය සහ පව්ලේ අය හඬා වැළපෙමින් පැමිණ මිණිය රැගෙන ගියෝය. මටත් පුංචි දියණියක් සිටී... මියගිය පුද්ගලයාගේ බිරිය සහ කුඩාදරුවා ගැන මට මහත් දුකක් ඇති විය. තංගල්ලේ රන්න රෝහලේ ලියාපදිංචි වෛද්‍යවරයාට රෝගියකුසේ වෙස්වලාගෙන...රෝහලටම පැමිණ වෙඩි තබා මැරූ බවත්...මටද ප්‍රවේශමෙන් සිටින ලෙසත් රන්නේ පදිංචි මාගේ බාල සහෝදරිය මට දැනුම් දුන්නේය. මේ මගුල හරියන්නේ නැත නීති විරෝධී එකා ළඟ තුවක්කු ඇත...සාමකාමී නීති ගරුක පුරවැසියා නිරායුධය...වහාම ඇමරිකාවට පලා යායුතුය...එහේ ඕපන් මාකට් එකේ බඩු තිබේ...මංවගේ එකෙකුට අයිඩියල් රටකි
                            ...අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ඩොක්ට ඉක්මණට දොර අරින්න...අපි ලෙඩෙක් ගෙනාවා...මහරෑ දෙකට දොරට තඩි බානවාය. අදනම් මං ඉවරයි...මාළුපාන් දෙක සහ ලයිටරය ගෙන මරාගෙන මැරෙන්න  සැරසුනෙමි. හොස්පිටල් එකෙන් එක්කෙනෙක් එක්ක එන්න...එතකන් දොර අරින්නෙ නෑ...දැන් මුන් දොර කඩන්නට ඉඩ තිබේ...අදනං මුන්ට මාළුපාන් කවලා...ගෑනියි ළමයයි එක්ක දැන්ම පැනලා යනවා...පිටුපස දොර ශබ්ධ නොඇසෙන සේ ඇර එසේම තිබෙන්නට හැර කෙසෙල් පඳුරකට මුවාවී සිටියෙමි...සනී කම්කරු කරුණාරත්නත් සමග උන් එන සැටි බලාසිටියෙමි අතේ තුවක්කු නැත...බය වෙන්නට දෙයක් නැත...මගේ කොටකලිසම් සාක්කු දෙකේ බඩු තිබේ...
            කොල්ලෝ පස්දෙනෙක් සිටී...එකෙක් රෝහල අසලම පදිංචි මං දන්න ටේලර් කෙනෙකුගේ පුතෙකි..යං...කව්ද ලෙඩා...මම උන්ගෙන් ඇසුවෙමි...තමුසේ දුවනවා ඔව්හු කම්කරුවා එලවා දැමූහ...ඩොක්ටර් අපි ට්‍රාන්ස්ෆෝමර් එකට පැට්‍රෝල් බෝම්බ ගැහුවා...එකක් අපි ලඟට වැටිලා පිපුරුවා...අපේ එක්කෙනෙක් පිච්චුනා...යන් ඉක්මනට...කොල්ලෙක් රෙද්දක් පෙරවාගෙන රෝද පුටුව උඩ සිටී...රෙද්ද ඉවත්කරරෝගියා පරීක්ෂා කලෙමි...කොල්ලාගේ කකුල් පපුව සහ මූණබරපතල ලෙස පිලිස්සී ඇත...සර්ජන් කෙනෙක් ලඟට යැවිය යුතු කේස් එකකි. මෙයා නාගොඩ ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙනවා...ගොඩක් පිච්චිලා බෙහෙත් විදින්න, සේලයින් දෙන්න වෙනවා මම පැහැදිලි කලෙමි...ඒක කොහොමවත් කරන්න බෑ ඩොක්ට මෙයාව කොහොම හරි සනීප කරන්න ඕනේ...ඔව්හු මට තර්ජනය කළහ. මම ඔවුන්ගේ නායකයා පැත්තකට කතාකර ඔහුට ලෙඩා ඇඩ්මිට් කලොත් වනදේ පැහැදිලි කළෙමි...දැන් මෙයා ඇඩ්මිට් කලොත් කව්රුහරි ඔත්තුදීලා පොලිසියෙන් අල්ලන් ගිහිං මරන්න ඉඩ තියෙනවා...එහෙම උනොත් ඔයාල හිතයි අපි ඔත්තු දුන්න කියල...අපි එයා ගෙනියන්න දෙන්නෙ නෑ...එයාගේ ආරක්ෂාව අපි බලාගන්නම් ඩොක්ට මෙයා ඇඩ්මිට් කරන්න...උන් පොරටෝක් දෙනවාය...හරි මං ටිකට් එකක් ලියන්නෙ නෑ...ඉස්පිරිතාලෙට බෙහෙත් ආවෙනෑ මාස ගානකින්...මෙයා ගෙ තුවාල වලට දාන්න ෆියුසිඩීන් ගෝස් අපිළඟ නෑ...ඒවා පාමසියකින් ගන්න වෙන්නෙ...හරි අපි දැන්ම පාමසිය ඇරවලා ගේනවා...
                                            පිටගැස්මට බෙහෙත්විද...තුවාල පිරිසිදු කර...ලෙඩාට සේලයින් දෙමින්, ප්‍රති ජීවක දෙමින් ප්‍රතිකාර කරන්නට පටන් ගත්තෙමි...පෙතිඩීන් එකක් විද කෙඳිරි ගාමින් සිටින JVP කාරයා නිහඬ කලෙමි. පැයකින් පමණ ඔව්හු ෆියුසිඩීන් ගෝස් රැගෙන පැමිණියහ...ලෙඩාගේ තුවාල වලට ෆියුසිඩීන් ගෝස් දමා සැරහුම් කලෙමි. පොලීසිය තියෙන්නේ රෝහලට යාර තුන්සීයක් දුරිනි...කව්රු හරි ඔත්තුව දුන්නොත් මට දෙපැත්තෙන්ම කන්නට වෙනවාය...මාර ප්‍රශ්නයකි...මුළු වාට්ටුව පුරාම කසුකුසුව යයි...English Patient කව්ද කියා සියළු දෙනාම දනිති. පසුදින උදේ හය වෙනකොට මම තද නෝමල් එකේ...වාට්ටු පරීක්ෂාව පටන් ගතිමි. මීළඟට ඉන්නේ JVP කාරයායාය...උගේ බයිස්ටෑන්ඩර් වශයෙන් අවරුදු විසි හතක විතර කොට කලිසම් කාරයෙක් සිටී...උගේ සාක්කු දෙකේම බරට මොනවා හෝ තිබේ...දැන් මෙයා ගැන බයවෙන්න දෙයක් නෑ දවසට දෙපාරක් බෙහෙත් විදින්න වෙනවා...පෙනිසිලින් වලට ටෙස්ට් කර එකක් විද්දෙමි. ටිකට් ලියන්න බෑ...මෙයා දැන් අරන් යන්න මම මම ළඟ ඉන්න මරුමුස් කොල්ලාට කිව්වෙමි...බෑ අපි දිගටම ඉන්නවා...දැන් දැන් තවත් කොටකලිසම් කාරයෝ එහෙන් මෙහෙන් වාට්ටුවට එබෙති. මම පැය බාගයක් දෙනවා  මෙයා දැන්මම වහාම ගෙනියන්න ඕනෙ...නැත්නම් මං හොස්පිටල් එක වහලා ගෙදර යනවා මම ඔවුන්ට තර්ජනය කර  රෝහලෙන් පිටවී නිල නිවසට ඇතුල්වී දොර වසා ලොක් කර ගතිමි...දැන් මට බඩු පැකට් වෙන එක ෂුවර්ය...මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමි...ලේ කිරි පෙවූ මව...නොදැකම මියෙන්නෙමි !...  

මතු සම්බන්ධයි... 

Tuesday, 18 October 2016

JVP/දේශප්‍රේමීන් (2වන කොටස)

සිංහ කොඩිය පැහැරගෙනයෑම ගැන පැමිණිලි කිරීමට මතුගම සහකාර පොලිස් අධිකාරී උඩවත්ත මහතා හමුවීමට ඔහුගේ බංගලාවට ගියෙමි...ඉතා සුහද නිලධාරියකුවූ ඔහු පැමිණිලි පොත නිලනිවසට ගෙන්වාගෙන මගේ පැමිණිල්ල ලියන ලෙස සාජන් කෙනෙකුට කිව්වේය. 1989 වර්ෂයේ දිනයක පාන්දර මට පොලිසියෙන් එන්නට කියා පණිවිඩයක් ලැබුණි...පොලීසියට ගියවිට ඩොක්ටර්ට කණගාටු දායක ආරංචියක් කියන්න තියෙනවා...මොකක්ද ? සුමනපාල විමලසුරිය කියන්නේ කව්ද ? ඒ මගේ බාප්ප...තාත්තගේ මල්ලි...ඇයි ? JVP කාරයෝ ඊයෙ රෑ එයාට වෙඩිතියල...මැරිලද? ඔව්...ගෙදරට දොර කඩාගෙන ඇවිත් T56න් වෙඩිතියල...එයා මොනවද කරන්නෙ ?...හිටපු ගම්මුලාදෑනි...එක්සත් ජාතික පාක්ෂිකයෙක්....ඒක තමයි...එයාට UNP එකෙන් අස්උනා කියල කොඩිදාන්න කිව්වට දාලනෑ !. බොඩි එක තියෙන්නෙ පොල්වත්තේ ඉස්පිරිතාලෙ...
                                   පිඹුර DMOට මේබව දන්වා රාජකාරි ආවරණය කිරීමට වෛද්‍යවරයකු එවන ලෙසදැනුම්දී... කාර් එකේ ඒරියල් එකේ සුදු කොඩියක් දමාගෙන වහාම අම්බලංගොඩ යෑමට පිටත් වුනෙමි. පාරේ බලුබල්ලෙක් නැත...JVP ඇඳිරි නීතිය පනවා ඇත. ගස්කපා අහුරා තිබූමාර්ග මගහරිමින් අතුරු පාරවල්වල වටවන්දනාවේ යමින් පොල්වත්තේ ඉස්පිරිතාලෙට පැමිණියෙමි. පොල්වත්තේ DMO හමුවූ විට ඔහු කිව්වේ පශ්චාත් මරණ පරීක්ෂණය නොකරන ලෙස ඔහුට JVP දේශප්‍රේමීන් දැනුම්දී ඇති බවයි... එහෙනම් මම බොඩිඑක ගෙනියනවා...ප්‍රශ්ණයක්නෑ...උසාවියත් වහල තියෙන්නෙ...අනේ ඉක්මනට ගෙනියන්න...උන් ඇවිත් ඔළුව කපන්යයි කියල මාත් බයේ ඉන්නෙ. හර්ස් එකක් අමාරුවෙන් හොයාගෙන අපි මිණිය රැගෙන ආවෙමු.
            අම්බලංගොඩ නගරයේ ඇල්පිටිය පාරට හැරෙන තැනම වංගුවේ ඇති තාත්තාගේ මහ ගෙදරවූ සිද්ධිය මෙසේය......මහරෑ එකට පමණ අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාර යෙන්...දොර අරින්න අපිට කට උත්තරයක් ගන්න තියෙනවා කියා ඇත. බාප්පා මේසයක් උඩට නැග ග්‍රිල් අස්සෙන් බැලු විට මරණය දොරකඩටම පැමිණ ඇති නිසා...දොර ඇරියේ නැත. මිනී මරුවෝ දොර කඩාගෙන ඇතුල්වූහ...ඔක්කොම කට වහගෙන දණගහපියව්...කෑගැහුවොත් තොපි ඔක්කොම මරණවා...කුඩම්මා සහ දියණියන් තිදෙනා දණ ගැසුවෝය...උඹත් දණ ගහගෙන මේ කොලේ තියෙනදේ කියවපන් බෑ...මං කියවන්නෙනෑ...හිටපු ගම්පති අණ පිළිපැද්දේ නැත...අපි තෝ මරණවා...බාප්පා අල්ලාගෙන තල්ලුකර පුටුවක වාඩිකරවූ මිණීමරුවෝ...පපුවටම තුවක්කු කට හේත්තු කරමින් තුන්වරක් T56න් වෙඩිතැබූහ. බිරිය සහ දුවලා විලාප දුන්නත් අහල පහල කිසිවකු දොරක් ඇරියේ නැත. එළිවන තුරු මිණිය එසේම තිබුණි.                      
      ඒ දිනවල JVP කාරයින් විසින් මරාදමන උදවිය ද්‍රෝහීන් බැවින්... මිණිය දණහිසින් ඉහලට එසවීම තහනම්ය. උන්ට බම්බුගහ ගන්න කියා අපි මරණයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකලෙමු. මා කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවුනත් මරණය මා කරාද පැමිණෙන්නට ඉඩ තිබේ. සටනක් නොදී මේ විදියටනම් මැරෙන්නට නම්...මගේ කිසිම අදහසක් නැත. තාවකාලික පිළියමක් පළමුව සොයාගත යුතුය.  බදුරලි නොහොස් කෙලින්ම ගියේ කොළඹය. මල්වත්ත පාරට හැරෙන තැනම රතිඤ්ඤා කඩයක් තිබේ තියෙන ලොකුම ඒවයින් තුන්හුලස් රතිඤ්ඤා දහයක් දෙන්න...ඒවාත් රැගෙන බදුරලි පැමිණියෙමි... දහයේම පිටි එකට අනා ටින්ටස් ඇණ ඇතුලට දමා ලොකු රසවත් මාළුපාන් දෙකක් වහාම නිපදවන ලදී.     
                              එදිනම රෑ ඝාතකයෝ මා සොයා පැමිණියහ...අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාර යෙන්...ඩොක්ටර් එක්ක කතාකරන්න ඕනේ ලයිට් දාන්න එපා දොර අරින්න...පොඩ්ඩක් ඉන්න සහෝදරයා....ලයිටරය දකුණු අතටත් අලුත් මාළුපාන් දෙක වම්අතටත් අරගෙන ග්‍රිල් එකෙන් එබී බැළුවෙමි...හතර දෙනෙක් එලියේ සිටී දෙදෙනෙක් අත ෂොට් ගන් තිබේ... මාළුපාන් දෙකක් දොරට උඩින් ග්‍රිල් එකෙන් එලියට දැමීම ප්‍රමාණවත්ය...කරුණාවන්ත දොස්තර මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්නේ නැත...දොර අරින්න බෑ මොකක්ද ප්‍රශ්නේ ? ඩොක්ටර් අපිට බෙහෙත් ටිකක් ඕනේ...මොනවටද ? අපේ කෑම්ප් එකක් තියෙනවා සිංහරාජේ...අපට ඒකට බෙහෙත් ද්‍රව්‍ය ඕන වෙලා තියෙනවා...අපි ලඟදිම බෝම්බ ගහල පොලීසිය ෆ්ලැට් කරනවා...අම්මටහුඩු ඇඟේ මයිල් කෙලින්වෙන පොර ටෝකකි... මොනවගේ දේවල්ද මල්ලිලට ඕනේ ? ප්ලාස්ටර් බැන්ඩේජ්, සර්ජිකල් ස්ප්‍රිට්, පුළුන් වගේ දේවල්...ඩොක්ට බයනැතුව දොර අරින්න...(මුන්ටික හාලෙන් තබාගත යුතුය...බත් උනොත් පිනුල් වෙනවාය...මුං ඇවිත් තිබෙන්නේ මාව මරන්න නොවේ ) දොර අරින්න බෑ... මං යතුරු කැරැල්ල එලියට දාන්නම්...ඕන දේවල් ඉස්ටෝරුව ඇරලා අරගෙන යන්න...යතුරු ස්ටාෆ් එකේ කව්රුහරි අතේ එවන්න...යතුරු කැරැල්ල එලියට දමා ලයිට් නිවාගෙන...ඇලර්ට්එකේ සිටියෙමි...දුවන සද්ද සමග පොඩි කලබලයක් පමණක් ඇසුනි...
                                                       පැයකින් පමණ ශාමා...මං වාට්ටුවට ගිහිංබලල එන්නම්...පිස්සුද යන්න එපා...මං කවදත් සුචච කීකරු සුවාමි පුරුසයෙකි...මාළුපාන් දෙකයි ලයිටරෙයි සාක්කුවේ දාගෙන...උගුර බලන පුංචි ටෝච් එකත් අරගෙන වාටුවට ගියෙමි...බෙහෙත් ගබඩාව තිබුනේ වාටුව කෙළවරේය...හුටා ඉස්පිරිතාලේ බලුබල්ලෙක් නැත...සේලයින් බෝතලයක් කණුවක එල්ලෙමින් තිබේ...කෝ මේ වාට්ටුවේ පිරිලා හිටපු ලෙඩ්ඩු ? නයිට් ඩියුටි හිටපු  ඇටෙන්ඩනුයි ලේබරර්ස්ලා දෙන්නයි ?...මං වැරදිය ඔක්කොම පැනලා ගිහිං නැත .. එකෙක් විතරක් කෙලවරේම ඇඳේ ඔළුවේ සිට පෙරවාගෙන නිදිය...රෙද්ද උස්සා බැලුවිට එකෙක් නොව දෙන්නෙකි... ලේබරර් කළුගලයා (මිනිහගේ ගම කළුගල) නාකි ලෙඩෙකුට තුරුල්වී නිදිය...කචල් එක අමතකවී මට හිනාගියේය...ආ සර්...ලෙඩ්ඩුයි.. ඔක්කොම පැනල ගියා සර්...පාරෙන් ?...නෑ සර් කුඹුර උඩින්...අර බඩයන ලෙඩා සේලයින් එකත් ගලවල දිව්වා සර්...ඉස්ටෝරුව ඇරලා බෙහෙත් අරගෙන යතුරු කැරැල්ල දීල ගියා සර්...කළුගලයා කියාගෙන කියාගෙන යයි...ඉතිං උඹ විතරක් නොදිව්වේ ඇයි... ඒ මල්ලිලා මං අඳුනනවා සර්...හරි...කට ප්‍රවේසම් කරගෙන හිටපං... පොලීසියට මේ බෙහෙත් අහුඋනොත්...උන් කියන්නේ මං දුන්නා කියාය මාර ප්‍රශ්නයකි...  

මතු සම්බන්ධයි... 

JVP/දේශප්‍රේමීන්...(1වෙනි කොටස)


                                  
මා බදුරලිය රෝහලේ පළමු ලියාපදිංචි වෛද්‍යවරයා වූයෙමි. 1987දී මා එහි සේවයට පැමිණෙන විට එහි තිබුනේ කුඩා ඩිස්පැන්සරියක් පමණකි. කුඩා වාට්ටුවක් අලුතින් තනා තිබුනද...නිලනිවාසයක්, ඇම්බියුලන්ස්එකක් හෝ  මෝචරියක් නොතිබුන බැවින්...වාට්ටුව නේවාසික රෝගීන් සඳහා විවෘත කිරීම මට කලින් සිටි වෛද්‍යවරු අකමැතිවූහ. මම එහි පැමිණ සති දෙකකින් වාට්ටුව නේවාසික රෝගීන් සඳහා විවෘතකර... ඩිස්පැන්සරිය කුඩා රෝහලක් බවට පත් කලෙමි. රෝහලේ කාමරයක් මගේ නිළනිවාසය ලෙස පාවිච්චි කලෙමි. රෝගීන්ගේ වැසිකිලිය මගේද වැසිකිලිය විය (ඉස්සර ගේමක් නැතුව ඇණ තියාගෙන ඉන්න පුළුවන්) මගේ මෝටර්රථය අතින් කයිට් ඇම්බියුලන්ස් එක වූ අතර ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් ලෙස සරත් විමලසුරියම පත්කර ගත්තෙමි. අතිවිශාල ප්‍රදේශයක් මෙම රෝහල මගින් ආවරණය වන බැවින් රෝගීන් වැල නොකැඩී එන්නට පටන්ගත්හ. ඇඳන් විස්ස වහාම පිරී ගියේය. අතිරේක රෝගීන් කොරිඩෝවේ පැදුරු මතට අකමැත්තෙන් වුවද දැමීමට සිදුවිය. ඇටෙන්ඩන්ට්ලා මිස නර්ස්ලා නැත. ඉන්ජෙක්ෂන්, සේලයින් ? ඒව දෙන්නෙත් මං ම තමයි...ළදරු සායන,මාතෘ සායන පැවැත්වීම, පාසැල් සෞක්‍ය පරීක්ෂණ, බෙහෙත් ගබඩා පාළනය, ලිපිකරු කටයුතු කිරීම, ෆෑන්, ස්ටේරිලයිසර්, ටියුබ්ලයිට්,  වතුරමෝටර් රෙපයාර් කිරීම...ඔක්කොටම එකයි...වන් මෑන් ආමි !.  අසාධ්‍ය තත්වයේ රෝගීන් සතියකට දෙතුන්වරක් මා කලින් සේවයකල, ආසන්න දිස්ත්‍රික් රෝහලවූ පිඹුර රෝහලට මෝටර්රථයෙන් ප්‍රවාහණය කිරීම මාවිසින් නොමිලේ සිදුකරණ ලදී.
                                                  ඒ දිනවල මෙවැනි රෝහල් වල සේවයකල දොස්තරලාට OT, ඔන්කෝල් දීමනා, ඩියුටිෆ්‍රී කාර්, ප්‍රවාහන දීමනා මොන මගුලක් වත් නැත. පැය 24ම තනියම වැඩකල යුතුය. ජ්‍යාත්‍යන්තර කම්කරු නීතිය අනුව OT ගෙවමින් හෝ මනුෂ්‍යකු පැය 24ම සේවයේ යෙදවීම බරපතල අපරාධයකි. සවුත්තු දෙපාර්තමේන්තුවට ඒගැන වගේ වගක්නැත. නිවාඩු ගැනීමට වෙනත් රෝහලකින් වෛද්‍යවරයෙක් කලින් දන්වා බොහෝ කණිපින්දම් කියා...ගෙන්වා ගතයුතුවිය. අම්මා මළත් හදිසි නිවාඩු නැත... දුරකථන පහසුකම් නැත...දුරකථන ඇමතුමක් උප තැපැල් කාර්යාලයෙන් හෝ පොලීසියෙන් ගැනීමට ගියවිට කම්බි කැඩී ඩයල්ටෝන් නැත. නියම සනීපදායක රැකියාවකි. නමුත් මේ ගමේ බහුතර වැසියෝ ඉතාම ගුණයහපත් පුද්ගලයන්වූ නිසා...මම මගේ සේවය උපරිමයෙන් කලෙමි. පළාතේ මන්ත්‍රී තුමාවූ මෙරිල් කාරියවසම් මහතා දවසක් දවසක් රෝහල බැලීමට පැමිණියේය. ඩොක්ට මට කියන්නෙත් නැතුව වාට්ටුව ඕපන් කරලනේ...මාජීවත්වන වැසිකිලියක් නැති, තනිකාමරය දැක ඔහු අවංකවම කණගාටුවිය...මම මාස හතරක් ඇතුලත මං ඩොක්ටර්ට ක්වාටස් එකක් හදල දෙනවා...කියූ ආකාරයටම ඔහු පොරොන්දුව ඉටුකළේය. ඉතා හොඳ වර්ගයේ ඉඩකඩ ඇති නව නිල නිවසක් මට ලැබුණු අතර...එහි පදිංචි වන දිනයේ පාටියට ඔහුටද ආරාධනා කලෙමි.
                                                              මේ සුන්දර ගමේ සාමකාමී පරිසරය නැති කරමින් JVP/දේශප්‍රේමී සර්පයාගේ  භීෂණය ක්‍රමයෙන් හිස ඔසවන්නට විය...පළමු සිදුවීම වශයෙන්, ප්‍රදේශයේ වගා නිලධාරියා...රෝහල ඉදිරිපිට ඇතිබස් ස්ටෑන්ඩ් එකේදී...ඉරිදාපොළ දවසේ...ගල් කටස් තුවක්කුවකින්...මහදවල්...ප්‍රසිද්ධියේ වෙඩිතබා මරණ ලදී...මුළු ගමටම JVP/දේශප්‍රේමීන්ගේ...භීෂණයේ පණිවිඩය සාර්ථක ලෙස ලබා දෙන ලදී...එදිනම රෑ JVP ඇඳිරිනීතිය පනවන ලදී...රාත්‍රියේදී අටවන විට එක්වරම විදුලිය විසන්ධිවී JVP ඇඳිරිනීතිය අංග සම්පූර්ණ විය...පාරට...චේන්සෝ මගින් දැවැන්ත ගස්කපා දමා ගම බාහිර ලෝකයෙන් වෙන් කෙරුණි. ලංගම බස් ගිනිතබන බැවින් ගමනාගමණය අඩාලවිය. ප්‍රදේශයේ සියළුම වතු අධිකාරීන් සහ ගොවියන්සතු තුවක්කු...JVP/දේශප්‍රේමීන් විසින් කොල්ලකන ලදී. කලින් මීහරක් බලමින් සිටි...ගමේ අඩුකුලේ කොල්ලෝ...තුවක්කු වලින් සන්නද්ධව...පැහැරගත් මෝටර්සයිකල් වල නැගී මහදවල් වැඩ පෙන්නන්නට වූහ...දෙවැන්නා ලෙස බදුරලියේ සමූපකාර මැනේජර් මහතා සමූපකාරය ඇතුලේ රාජකාරි වෙලාවේදීම...ගල් කටස් තුවක්කුවකින් වෙඩිතබා මරණ ලදී. දිගින් දිගටම ගස්කපා දමමින් JVP ඇඳිරිනීතිය පැනවීම සිදුවුනු අතර...පොලීසිය සහ හමුදාව...ගමේ මිනිසුන්ගේ ඔළුවට T56 තබා පාර ක්ලියර් කිරීමද සිදුකරණ ලදී. පාසැලේ ඇලවූ JVP/දේශප්‍රේමීන්ගේ...සටන්පාඨ පෝස්ටර් ගලවා...බිත්තිවල ලියා තිබූ .සටන්පාඨ මැකීමේ වරදට...අසල ගමක කුඩා පාසැලක විදුහල්පති වරයකු ඝාතනය කරන ලදී...රාත්‍රී නිවසට පැමිණ පොල්ලකින් පහර දෙමින් අඩපණකර ...පණපිටින් සිටියදීම මිරිස් ගල මත තබා මන්නයකින් හිස කපා වෙන්කර...පාර අසල රිටක අමුණා ඝාතකයෝ පලා ගියහ.
                                             1989 පෙබරවාරි 3 වෙනිදා මාවිසින් පසුදින නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය රෝහලේ  ඔසවනලදී... එදිනම රෑ සන්නද්ධව රෝහලට පැමිණි JVP/දේශප්‍රේමීන් විසින් ජාතික කොඩිය ගලවා...විශාල කළුකොඩියක් දමන ලදී. මා මෙය දුටුවේ වාටුවට යද්දීය. භීෂණය කොතරම්ද යත් කිසිදු සේවකයකු මේ ගැන මට වාර්තා කලේ නැත. මේ කළු කොඩිය ගැලවීම ඉල්ලං බෙල්ල කප්පවා ගැනීමකි. මම එය නොදුටුවාසේ වාට්ටු පරීක්ෂාව කරමින් සිටියෙමි...එක්වරම  බදුරලිය රෝහලේ මිදුලේ පොලිස් ජීප් රථයක් නැවත්විය...එයින් බැසආ OIC (එස් අයි)...ඩොක්ටර්ට විරුද්ධව පැමිණිල්ලක් ආවා...ඉස්පිරිතාලේ කළුකොඩි දාල කියල...මට මේගැන ඉහලට වාර්තා කරන්න සිද්ධ වෙනව...ඉතිං කරන්න !...මං දැම්මෙ සිංහ කොඩිය...JVP එකෙන් තමයි ඒක ගලවගෙන කළුකොඩියක් දැම්මේ... ඩොක්ටර් කරුණාකරල මේක අයින් කරන්න මේක රජයේ ආයතනයක්...මං ඒක දන්නව...මම OIC තුමා මගේ ඔෆිස් කාමරයට කැඳවා ගත්තෙමි...මේක ගලවන්න මං...මගේ සේවකයො දෙන්නෙනෑ...ඔයා PC කෙනෙක්ට කියල ගලවන්න...ඔයාගෙ පොලීසිය ඇතුලෙත් JVP කාරයෝ ඉන්න පුළුවන්...ඒනිසා මං මතුගම ASP හම්බ වෙලා පැමිණිල්ලක් අද දානවා... සිංහ කොඩිය ඉන්වෙන්ටරියේ තියෙන රජයේ දේපලක්... OIC තුමා කොහෙන්දෝ ගෙනා ඉණිමගක් තබා...PC කෙනෙක්ලවා කලුකොඩිය ගලවාගෙන...ජීප්එකේ සැරදමමින්   යන්නට ගියේය....

මතු සම්බන්ධයි                    

Monday, 10 October 2016

ද්වි නාමධාරී ගුරුවරු


                                        අපේ කාලයේ ධර්මාශෝකේ ඉගෙන ගත් කොල්ලෝ ගුරුවරුන්ට නම් පටබැදීමේ කෙළපැමිණියෝ වූහ. කොල්ලන්ට දිරවන්නේ නැති ගුරුවරුන්ට නොයෙකුත් තාලයේ විහිළු නම් පට බැඳී තිබුණි. මෙවැනි ගුරුවරයෙක් දිනපතාම පන්ති කාමරයේදී බෙහෙත් පෙත්තක්බී ඊයම් කොලය කුණුකූඩෙට දැමීම සිරිතක් විය. කොල්ලෝ දවසක් මේ ඊයම් කොලය ආපසු ගෙන මේ බෙහෙත...මොන ලෙඩේට බොන බෙහෙතක්දැයි සෙවීමට උත්සුකවූහ. වැඩේ බාර දුන්නේ පාමසිකාරයාගේ පුතාටය. ඌ පසුදිනම උත්තරේ සොයාගෙන  ආවේය...මචං ඕක දියවැඩියාවට බොන එකක්...එදිනසිට...පාන් කාලක් කන්නට ඇඟේ මස් නැති...ඉතා කෙට්ටු ශරීරයක් ඇති...නිතර ටොයිලට් එකට දුවන...මේ ගුරුවරයාට “සීනි මාමා” යන ගරු නම්බු නාමය ලැබුණි !.
               අසාමාන්‍ය ලෙස අඩි හයක් පමණ උස ගුරු වරියක් ඒ දිනවල ධර්මාශෝකයේ ඉගැන් වීය. අපේ පන්තියට ඉගැන්නුවේ නැති නිසා මොනවා ඉගැන්නුවාදැයි මට මතක නැත ඇය හඳුන්වන ලද්දේ “දික්තලා” යන නමිනි. ටික දිනකින් අඩි හතරයි අඟල් අටක් පමණ උස ඉතාම මිටි ගුරුවරයෙක් පත්වීම් ලැබ පාසලට පැමිණියේය...දිනදෙක තුනකින්ම ඔහු “කාලගෝල” නම් විය. ඉංග්‍රීසි යෙන් අපි ඔහු “කාර්ල් ගෝල්ඩ්” ලෙස හැඳින්වීමු. මේ දෙදෙනාට කොල්ලන් හදා තිබූ කෙටි විහිළු කතාවක් මෙසේය. දිනක් මේ දෙදෙනා කොරිඩෝවකදී මුණ ගැසී ඇත. දික්තලා... ඔළුව පහතට නමා...කාර්ල් ගෝල්ඩ් දෙස බලා...අනේ පව් අඩි හතරයි කියා ඇත... කාර්ල් ගෝල්ඩ් නිකට ඔසවා උඩබලා... අනේ පව්...අඩි හයයි කියා ඇත !.
                                               උඩ තට්ටුවේ සිට කෑගසමින්...පහත ගමන් කරන ගුරුවරුන්ගේ විහිළු නම් කියා ඔවුන් කුපිත කර වීම...කොල්ලෝ දිනපතාම කළහ. කෑගැසූ එකා සොයාගැනීමට නොහැකිවූ විට මුළු පන්තියටම පිනාගෙන් වේවැල් පාර ලැබුණි. අධ්‍යාපන චාරිකාවකදී එක් ගුරුවරයෙකුට අතරමගදී වැසිකිලි යෑමේ අවශ්‍යතාවක් ඇතිවී තිබුණි. මෙය සිදුවී ඇත්තේ කැළෑ බද පාරකදීය. ඔහු වතුර බෝතලයකුත් රැගෙන කැලයට ගොස් වැඩේ කරගෙන ආපසු පැමිණ තිබුණි. පසු දින සිට ඔහු “බොගා” ලෙස නම්කරන ලදී. මුලදී “බොගා” කියා කොල්ලෝ කෑගැසූ විට ඔහු කුපිත විය. දිනක් මේ ගැන ඔහු පිනාට පැමිණිලි කළේය. පිනා අපේ පන්තියට වේවැලත් රැගෙන පැමිණ...බලනවකෝ...  තමුසෙලා  අදත් අර සර්ට “ගොබා” කියලනේ කිවූවිට... පන්තිය සිනාසාගරයක ගිලී ගියේය.
                              බෲස්ලී ගේ චිත්‍රපටි බලා ධර්මාශෝකේ කොල්ලන්ට කරාටේඋණ තදින්ම වැළඳී සිටි සමයක...නව පත්වීමක් ලැබ පැමිණි ගුරුවරයකු කරාටේ ඉගැන්වීමට පටන් ගත්තේය. කොල්ලෝ “එන්ටර් ද ඩ්‍රැගන්” බලා මොරාල් අප්වී...හෝල් එකෙන් එලියට පැමිණියේ ශාලාවේ පුටුවලටද පයින් ගසමිනි.  කරාටේ ඉගෙන ගන්නට මුලින් බොහෝදෙනෙක් පැමිණියත්...සතිදෙකෙන් ගහගන්නට ඉගැන්නුවේ නැති නිසා...බොහෝ දෙනෙක් පසුව හැලී ගියෝය. හිතාගෙන හිටියේ සුමාන දෙකෙන් කරාටි ඉගෙනගෙන...සතුරාගේ ඇට මුංඇට වෙනතුරු නෙලන්නටය. අමුතු තාලේ සංගීත ගුරුවරයෙකුද මේ කාලයේ අප පාසැලේ සිටියේය...මේ ගුත්තිලගේ සංගීත කාමරයට ඇතුල්වීමේදී සපත්තු ගලවා පැදුරුමත වාඩිවීම අනිවාර්ය විය. ලොකු තේකොළ පෙට්ටියකට කොහු මිටක් සවිකර...කොහු මිටේ සිට තේකොළ පෙට්ටියේ මැදට නූලක් ඇද අමුතු සංගීත භාණ්ඩයක් ඔහු නිපදවා තිබුණි. නූල ගස්සන විට “භූම්” යන නාදයක් එයින් නිකුත්විය. නදීර නමැති මූසිලයා මේ නූල කපා සංගීතයාගෙන් හොඳහැටි ගුටිකෑවේය.
                     දිනපතාම සංගීතයා...කරාටේ කාරයා මුණ ගැසුනවිට ආ කොහොමද “ප්‍රෙස්ලී” කියා කියනවාලු...කරාටේ කාරයාට මේක හරිම ප්‍රශ්නයක්ලු...මොකදබං...උඹ මට හැමදාම “ප්‍රෙස්ලී” කියන්නේ කියලා කරාටියා සංගීතයා ගෙන් අසා ඇත...සංගීතයා අතපය වීසි කරමින්...ඇයි උඹ දන්නේ නැද්ද එන්ටර් ද ඩ්‍රැගන් එකේ ඉන්න කරාටිකාරයා එල්විස් ප්‍රෙස්ලී... සංගීතයාට එල්විස් ප්‍රෙස්ලී සහ බෲස්ලී පැටලීමෙන් මෙය සිදුවී ඇත. ධර්මාශෝකය පුරා ප්‍රසිද්ධවූ මේකතාව...කොල්ලෝ හදපු කතාවක් වෙන්නටත් බොහෝ ඉඩ තිබේ. මුළු ලංකාවේම ප්‍රසිද්ධවූ “අපි නොදන්න චෙස්” කතාවත් ධර්මාශෝකයේ සිදුවූ එකකි.
                           ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ තවත් ගුරුවරයකුගේ සිරිතවූයේ ළමයි කෑකෝ ගසමින්...ඩෙස්ක්ටොප් වලට තඩිබාමින් සිංදු කියන පංතිවලට...උළුවස්සෙන් ඔළුව පමණක් රිංගවා බලාසිට...(ට්‍රැෆික් පොලිස්කාරයින් වගේ) වැරදිකරුවන් අල්ලාගෙන අඩිකෝදුවේ දාරයෙන් පහර දීමයි. මෙසේ  ඔළුව පමණක් පඳුරෙන් එලියට රිංගවා...ඔළුව කරකවමින් අවට විපරම් කිරීම... මුගටින්ගේ සිරිත බැවින්...ඔහුට “මුගටියා” යන කීර්ති නාමය රෙජිස්ටර් විය. සොල සහ  ජෙල ගැන ඉගැන්වූ ගුරුවරයා “සොලයා” විය. ක්ෂණයකින් තරහගොස් නැවත ක්ෂණයකින් සිනාවෙන ගුරුවරයා “කටුස්සා” ලෙස නම්කරන ලදී. සාක්කුවේ අත දාගෙන කට ඇදකරගෙන ඉකිලි කසන ගුරුවරයා “පොකට් බිලියඩ්” විය. තවත් ගුරුවරියක් හැඳින්වූයේ “නාග රාජයා” යනුවෙනි. මේ නිතර නයිඅරින නිසානම් නොවේ...ගෙදරට පැමිණි ගැරඬියකුට නයකුයයි සිතා...නාගරාජයාණෙනි අපට සමාවෙලා එලියට වඩින්නැයි ගැරඬියාට වඳිමින් කියා ඇති බැවිණි. පෙත්තාවඩු සර් “පැරට් කාපෙන්ටර්” වූ අතර මානවඩු සර් “ප්‍රවුඩ් කාපෙන්ටර්” විය. මානිස් සර් පාරේ යනවිට කොල්ලෝ...මානිසා ඔබ නොපැතූ පැතුම්... කියා... මිල්ටන් මල්ලවආරච්චි සිංදු කෑල්ලක් කියමින් දිවූහ. උඩුගම්පල සර්  උඩ්ඩා වූ අතර ඉලේපෙරුම සර් ඉලයා විය !


# මේ එක නමක්වත් මං හදපු ඒවා නොවේ...ගුරුමෑණිවරුන් ගෙන්, ගුරු පියවරුන් ගෙන්, ගුරු දෙවිවරුන් ගෙන් ඉගෙන ගත්...මගේ බ්ලොග් පාඨකයෝ ගැත්තාට පස්වාන් දහසකට සමාව දෙත්වා...රාමෙන් ! #.                                

Friday, 7 October 2016

ජේමිස් ළමයා...ලැන්ටි පිස්සා සහ ෂිකාබෝයි...


                                                                          මා කුඩා කාලයේ ගමේ සිටි ප්‍රසිද්ධ චරිතයකි ජේමිස් ළමයා. මොහු උපතින් පිරිමියෙකි...නමුත් ප්‍රිය කලේ කාන්තා ඇඳුමින් සැරසී...මාල වළලු පැළඳ..මූනේ අධික ලෙස පියරු දමාගෙන...ඇඟේ ඕඩිකොලෝන් තවරාගෙන මහපාරේ සැරිසැරීමටයි. ඔහු බොහෝවිට සැරසී සිටියේ චීත්ත රෙද්දකින් සහ හැට්ටයකිනි...නැතහොත් ගවුමකිනි. ඔහු කිසිම දිනක අපිරිසිදු ලෙස සිටියේ නැත. ජේමිස්ළමයා අඩි පහක් පමණ උසය. රැව්ල වවා නැත...මිටි නමුත් අතපය හැඩි දැඩිය...පිරිමියකු ලෙස කොණ්ඩය කොටටම කපා තිබූ බැවින් ගැහැණු ඇඳුමින් සැරසුන විට ඔහුගේ වූයේ විසුළු සහගත පෙනුමකි...නමුත් ඔහුට ඒගැන වගේ වගක් නැත.  අප ගමේ සිටි බොහෝ දෙනා ඔහු දුටු විට...කළකොලොප්පන් කල නිසා එවැනි දෙයකට අසුවූ විගස...ඔහු වහාම එතනින් පලායයි. පාරේ යනවිට විහිළු කළහොත් පාරේ අනිත් පැත්තට යයි. ඔහුගේ ආදායම් මාර්ගය වුයේ...දන්නා අඳුනන ගෙවල්වලට පැමිණ වංගෙඩි වල දමා වීකෙටීම සහ...ආප්ප හෝ ඉඳිආප්ප තම්බන්නට පිටි කොටා දීමයි. එවැනි තැන්වලදී ඉල්ලීමක් කළහොත්...පිටිකොටන එක මදකට නවතා කාන්තාවක් සේ...උකුල පද්දමින් නටමින්...අත් ලාලිත්‍යමය ලෙස ඉහලට ඔසවමින් ගීත ගායනා කිරීමද කළේය...රුක්මණීදේවි ඔහුගේ ප්‍රියතම ගායිකාව විය...නිතර ගයනා කල ගීතය “ආදරේ ඇයි පොඩි හඳමාමේ” ගීතයයි. ඔහුට තිබුනේ නාසික කාන්තා කටහඬකි...ඔහු නටමින් ගීත කියන අයුරු බැලීමට බොහෝ අය කැමති වූහ...නමුත් කිසිවකු ඔහු හාස්‍යට ලක්කළහොත් මුදලුත් නොගෙන වහාම එතනින් පලායයි. ගුරුවරියකවූ අපේ අම්මා ඇඳුම්, මුදල් සහ ප්ලාස්ටික් වළලු දෙමින් ජේමිස් ළමයාට කාරුණිකව සැලකූ බැවින්...ඈ ඉල්ලීමක් කල විගස ඔහු ගීත ගායනා කළේය...බෝක්කු උඩ සහ හන්දි ගානේ සිටි බීමත් රස්තියාදු කාරයෝ...ඔහුගේ ගවුම ඔසවමින් රෙද්ද කඩමින් ඔහුට හිරිහැර කළහ...වයස අවරුදු 90ක් පමණ වන ජේමිස් ළමයා තවමත් පොල්වත්තේ වැඩිහිටි නිවාසයක ජීවත් වෙයි.
                              අම්බලංගොඩ මහපාරේ සිටි තවත් අමතක නොවන චරිතයකි ලැන්ටි පිස්සා. මොහු කිසිදා නාන්නේ නැති කොණ්ඩය සහ රැවුලවවාගත් කිළුටු ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙකි. ඉතා දිග...කිසිදා පනාවක් නොදුටු  මොහුගේ කොණ්ඩය හැඩපළු ගෙතී ඇත. දැන් කාලේ හැටියට ඔලුවේ නලියන උකුණන් මරා...ලැන්ටිගේ කොණ්ඩය ස්ට්‍රේට් කරන්නට සන්සිල්ක් ගැලුම් තුන හතරකින් වත් බැරිය...ඔළුව වටේට රෙද්දක් ඔතා කිළුටු කඹ රෝල්වැනි රස්තා කොණ්ඩය...එය තුලට ඔබා ගැනීම ඔහුගේ යුනිෆෝම් එකේ කොටසකි. වැඩිහිටියෝ ළමයි බියවැද්දීමට බිහිසුණු  පෙනුමැති ලැන්ටි පෙන්වූහ. දුන්නොත් ගැනීම මිස ඔහු සිඟමන් යැද්දේ නැත. නගරයේ හෝටල් හිමියෝ පින්තකා ඔහුට ආහාර සැපයුහ. ඔහු දක්ෂ ඔරලෝසු කාර්මිකයෙකි. ඔහුගේ කිළුටු ඔළගුවේ ඔරලෝසු අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අඬු පඬු තිබුණි. අම්බලන්ගොඩයෝ...එකල බොහෝ නිවෙස්වල තිබුණු අටපට්ටම් හැඩයේ තොම්සන් බිත්ති ඔරලෝසු ඔහු ලවා රෙපයාර් කරගත්හ. ගාස්තුව රුපියල් දෙකකි. අපේ අම්බලංගොඩ ආච්චි ඔහුගේ කස්ටමර් කෙනෙකි... ලැන්ටි මේ අටපට්ටම් ඔරලෝසු රාජයා... ආච්චිගේ ඉස්තෝප්පුවේ බිම වාඩිවී...ගලවා  රෙපයාර් කරන අන්දම...ඔහුගේ ශරීරයෙන් හමනා පිච්චමල් සුවඳ වඳිමින් බලා සිටියෙමි.
                                                   ලැන්ටි සම්බන්ධ බොහෝ කතා ඇත...මේ ඉන් එකකි...කෑමට යමක් නොලැබුන දිනවලදී...පන්සල්වලට ගොස් කිසිවකු නැති අවස්තාවක්බලා   බුද්ධ පූජාව හොරෙන් කෑමට ලැන්ටි පුරුදුවී සිටියේය. ඔහු මෙය කලේ අමුතුම විදියකටය...මෙය නැරඹීමේ වාසනාව කිහිප දෙනෙකුටම ලැබී තිබුණි... රාත්‍රියේ බඩගින්නේ නිදාගත් ලැන්ටි බුදුගෙට රිංගා වැඳගෙන බුදුපිළිමය ඉදිරිපිට සිටගනී...උදෑසන හීල බුද්ධ පූජාව සඳහා කිරිබත් පීරිසියක් සහ කෙසෙල්ගෙඩි දෙක තුනක්...පිළිමය ඉදිරිපිට වරදින්නේ නැත... බුද්ධ පූජාව කා...ලැන්ටි පව් කරන්නත් බය නිසා...වැඩේ පටන් ගන්නේ මෙහෙමය...බුදුන් කන්න...ලැන්ටි කියයි...නෑ නෑ ලැන්ටිම කන්න...ලැන්ටි ආයෙත් කියයි...නෑ නෑ බුදුන්ම කන්න...නෑ නෑ ලැන්ටිම කන්න...ඔන්න ඔච්චරම කියන නිසා...එහෙනං ලැන්ටිම කනවා කියා... කිරිබත් පීරිසිය සහිත බුද්ධ පුජාව කොටා බායි. කෙනෙකු තනියම මොනවාහරි කමින් තමන්ටත් දෙන්න හැදූ විට ...”නෑ නෑ ලැන්ටිම කන්න” කීම...අම්බලන්ගොඩයන්ගේ සිරිත විය. පිට පලාතක කෙනෙකුට මේ “නෑ නෑ ලැන්ටිම කන්න” කතා තේරුනේ නැත. අම්බලන්ගොඩයන්ටම පමණක් තේරෙන මෙවැනි බොහෝ කතා ඇත.

                                                                        ෂිකාබෝයි අම්බලන්ගොඩ මහපාරට කොහෙන් ආවාදැයි නොදන්නා...එක්වරම අම්බලන්ගොඩ නගරයට ප්‍රාධූර්භූතවූ චරිතයකි. ෂිකා බෝයි කෙට්ටු අඩිහයක් පමණ උස මිනිහෙකි. කිළුටු ගොමස්කඩ කුඩා රෙදි කෑල්ලක් යන්තම් ඉනවටේ ඔතාගෙන...රෝහිණී බේකරිය ඉදිරිපිට පේමන්ට් එකේ ඇණ තියාගෙන...නොනවත්වා බීඩි බොමින් දවස ගත කරයි. රෙදි කෑල්ල පුංචි නිසා අඩුවැඩිය සෙට්එක එළියේය. පාරේ ගමන්කරන ගැහැණු මේ අඟහරු ලෝකෙන් ආ ෂිකා දැක වහා ඉවත බලා ගනිති. දවසක් ෂිකාබෝයි සහ ලැන්ටි පිස්සා අතර මාරාන්තික ද්වන්ධ සටනක් ඇතිවිය. හේතුව ෂිකාබෝයි බොමින්සිටි බීඩිය ලැන්ටි උදුරා ගැනීමයි. ලැන්ටි සටනේදී  ෂිකාගේ දරුණු තායි කික් බොක්සිං පහරකින්  බිම වැටුන අතර...ෂිකා ලැන්ටිගේ ඇඟ උඩ නැග ලැන්ටිගේ මූණ ඩබල් බ්ලැක් අයි වනතුරු නෙළුවේය. අමාරුවෙන් නැගිටගත් ලැන්ටි වික්‍රමසුරිය හන්දියේ සිටි පොලිස් කාරයින් දෙදෙනාට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කළේය. ෂිකා අල්ලාගත් පොලිස් කාරයෝ...ශිකාගේ කනට දෙකක් ගසා ගියහ. දැන් ෂිකා පොලීසියෙන් ගුටිකා බිම ඇණ තියාගෙන සිටී...සිද්ධිය දුටු පුද්ගලයෙක් ශිකාට බීඩියක් අරන්දී... ශිකා උඹට පොලීසියෙන් ගැහුවනේද ? කියා අසා තිබේ...ෂිකා ගේ පිළිතුරවී ඇත්තේ “ගැහුවයි කියල කියනව...කොහොමද දන්නෑ”  කියාය. පසුව මේ කතාව වසංගතයක් මෙන් ධර්මාශෝකයේ කොල්ලන් අතර පැතිරුණි. ගුරුවරයෙකු චිත්‍රය ඇන්දාදැයි අපෙන් ඇසූවිට...”ඇන්දයි කියල කියනව...කොහොමද දන්නෑ” කියා අපි පිළිතුරු දුන්නෙමු. මැච් එක දිනුවද ඇහුවොත් “දිනුවයි කියල කියනව...කොහොමද දන්නෑ” කියා පිළිතුරු දුන්නෙමු. ඕනෑම කෙනෙක් අසන සෑම දෙයකටම පිළිතුරු ලැබුනේ මේ ආකාරයටය. මේ කුප්ප, කොහොමද දන්නෑ කතාව නිසා කුපිතවූ ඇතැම් ගුරුවරු...ඉල්ලං ගුටිකෑම විනෝදාංශය කරගත් අපට නෙළුවෝය.  

#දැන් කාලේ හැටියට නම් මෙය..."හොරු ඇල්ලුවයි කියල කියනව...කොහොමද දන්නෑ"...වියයුතුය#
   

Saturday, 1 October 2016

සතුරන්ගේ ඔළු ගලවන පර්යේෂණ...

දෙවන ලෝක යුද්ධෙට පස්සේ...වැඩිම මාරාන්තික මුහුදු සටන්කල හමුදාව ශ්‍රීලංකා නාවික හමුදාවයි. මේක වඩාත් බිහිසුණු සටනක් බවට පත්වුනේ කොටින්ගේ මරාගෙන මැරෙන බෝට්ටු නිසයි. ආයුධ සහ විවිධ යුධ උපකරණ මුහුදින් ප්‍රවාහනය කිරීම වැලක්වීමට...දිවා රෑ නොබලා මුහුදේ රැකවල් යෙදීම අනිවාර්ය විය...මුහුදු සටන්වලදී ගුවන් ආධාර ලබාගැනීම අතිශය අපහසු විය...රාත්‍රී සටන්වලදී ගුවන් ප්‍රහාර එල්ල කිරීමේදී නාවික හමුදා බෝට්ටු කොටි බෝට්ටු වලින් වෙන්කර හඳුනාගැනීම ගුවන් නියමුවන්ට අපහසු විය. මෙසේ වෙන්කර හඳුනා ගැනීම සඳහා නාවිකයාත්‍රාවල සවිකල හැකි... අති ප්‍රභල Strobe Light මාවිසින් නිපදවන ලදී. මුහුදු යාත්‍රාවක සිට ඉලක්කයට වෙඩි තැබීම හෝ ඉලක්කයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම ඉතා අපහසු කරුණකි. යාත්‍රාව හතර අතටම පැද්දෙන අතරම උඩ පහතද ගමන් කරයි...මෙතනින් අවිකරු මිලිමීටරයක් වෙනස්වන විට...ඉලක්කය මීටර ගණනාවකින් වෙනස්වෙයි...ඒ මදිවාට ඉලක්කයත් එවැනිම ගමන්කරන යාත්‍රාවකි. වැදුනොත් ඉතිං...කණා ෂොට් එකක්ම තමයි !.      
              තමන් විසින්ම ඉල්ලංකෑ...යුද්ධ ගණනාවකට මුහුණදුන් ඇමරිකාව මුහුදේ සිදුකරන...මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමග ගරිල්ලා සටනකට කවමදාකවත් මුහුණදී නැත. මේ සටන් සම්බන්ධව අත්දැකීම් සහ දැනුම ඇමරිකාවට ලබාගැනීමට...මුහුදු සටන් වලට අණදුන් ශ්‍රීලංකා නාවික හමුදා නිලධාරීන්...වරින්වර ඇමරිකාවට ගෙන්වා...තමන්ගේ නාවුක නිලධාරීන් සඳහා  දේශන පවත්වා ගැනීමට ඇමරිකාව නිහතමානීව ක්‍රියාකළේය. යුද්ධයේදී කව්රුන් මොනවා කිව්වත් ඇමරිකාව උදව්කලේ අපටය. විශේෂයෙන් කොටි ආයුධ නැව් ගැන අපට ඔත්තුදුන්නේ ඇමරිකාවයි. කොටි මේ බව දැනසිටි අතර...අපේ නැව් ජ්‍යාතන්තර මුහුදේ හඹාගොස් කොටි නැව්වලට පහර දෙනවිට කොටි මුලින් සිතුවේ...ඔවුන්ට ජ්‍යාත්‍යන්තර මුහුදේදී පහර දෙන්නේ ඇමරිකන් නැව්වලින් කියාය.            
                            ආණ්ඩුවේ මානව හිමිකම් කඩකරන දේශපාලන මිනී මැරුම්, අතුරුදහන්කිරීම් සහ UN එකට දාපු මරිමෝඩ දේශපාලන ගොං පාට් නිසා...ඔස්ට්‍රේලියාව සහ බටහිර රටවල් අපට ආයුධ සැපයීමට අදී මදි කළබව සත්‍යකි. එතරම් සංකීර්ණ නොවන අවි චීනයෙන්, පාකිස්ථානයෙන් සහ යුක්රේනයෙන්  ලැබුණි. මම කල්පනා කලේ මෙවැනි අවි වැඩිදියුණුකර සතුරාට යුද්ධය එපාවන...වඩාත් මාරාන්තික ප්‍රහාර එල්ල කළහැකි ක්‍රමයන් ගැනය. යුද්ධයේදී අල්ලාගත් සතුරා මියගිය සතුරාට වඩා වටී. ඉතා වටිනා තොරතුරු අල්ලාගත් සතුරාගෙන් ලබාගත හැකිය. මුන් මරන්නේ නැතුව අල්ලගන්නේ කොහොමද...? වරක් මෙවැනි ක්‍රමයක් නිපදවීමට මාවිසින් කාකදූපතේදී  කඳුළු ගෑස් කැනිස්ටර් යොදා පර්යේෂණයක් කරන ලදී...ප්‍රයෝගික භාවිතයේදී ගැටළු පැනනැගුන බැවින් එය අත්හැර දැමීමට සිදුවිය.
                              සාමාන්‍ය ජීවිතයේදී වුවද ගෝරි වලට පැටලෙන්නේ නැති තරමට හොඳය...යම් කිසි අන්දමකට ගෝරියක් පැටලුනොත් සතුරා මට්ටුවනතුරු තදින් පහරදිය යුතුය. දැන් හේතුව කුමක්වුවත් ත්‍රස්තවාදියා සමග යුද්ධයක් ඇතිවීතිබේ. සාමසාකච්චා, හෙට්ටුකිරීම්, බලය බෙදාගැනීම්,ෆෙඩරල් ක්‍රම ප්‍රභාකරන්ට නොතේරුන බැවින් අසාර්ථකවී තිබේ…නමුත් මල්ටිබැරල්වල භාෂාව ඌට වහාම තේරුම් ගියේය. ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයෙන්ම පැරදවිය යුතුය...ශ්‍රී ලංකාව එය ප්‍රයෝගිකවම ඔප්පු කර පෙන්විය.  
                 දේශීයව නිපදවූ අවි, ගරිල්ලා උපක්‍රම සහ අත්හදා බැලීම් වලින් කොටියා අපට වඩා බොහෝ ඉදිරියෙන් විය. ඉදිරියට යන සෙබළුන් තමන්ගේ කකුල් කැඩී යෑමට ඉඩතිබේ...යන මානසික පසුබෑමකට ලක් කිරීම සඳහා...එක බිම්බෝම්බයක් වැලලුවත් එහි 9789 වැනි ලොකු අංක ලියා තිබුණි. හදිසි ගරිල්ලා ප්‍රහාර වලදී ගසකට මුවාවීමට සෙබළකු දිවගියහොත් ගසමුල ජොනී බට්ටා අනිවාර්යයෙන්ම සිටියේය.  අපිට නොමැති සබ්මැරීන් නිපදවීම දක්වා කොටියා ඉදිරියට ගමන් කර තිබුණි. එකක් හදාගෙන ගාල්ලෙන් මතුවී ගොඩට RPG දෙක තුනක් ගැහුවේ නම් කළුවැල්ලේ වීර සිංහලයෝ හෙළුවැල්ලෙන් දුවනහැටි බලාගන්නට තිබුණි. ගාල්ල වරායට එල්ලවූ ප්‍රහාරයේදී එය එසේ සිදුවිය...කෂ්ටිය කකුල් නොපෙනෙන වේගයෙන් දිව්වෝය. ගාල්ල වරාය භාරව සිටි උසස් නාවික හමුදා නිලධාරියා, කෝට්මාෂල් කර ගෙදරයවන ලදී.
                    Jane's Defense Weekly බ්‍රිතාන්‍යයේ පලවන මිලිටරි සඟරාවකි. එහි පිටපත් අපේ නාවික හමුදාවටද ලැබේ. ඒවා ඉතා ආසාවෙන් කියවීම... නවීන යුධ අවි, යුධ තාක්ෂණ තොරතුරු ගැන මගේ දැනුම වැඩිකරගැනීමට බෙහෙවින් ඉවහල් විය. මේඅවි වඩාත් සරල සුලභ දේ පාවිච්චිකර නිපද වීම මගේ අභිප්‍රාය විය. වරක් Jane's Defense Weekly සඟරාවේ පලවී තිබුණු වැඩිදියුණුකල අත්බෝම්බයක් මගේ නෙත ගැටුණි. එය Pearl Grenade ලෙස නම්කර තිබුණි. අත් බෝම්බ පිපිරීමේ දී එහි බාහිර ආවරණය පිටත ඇති කාණු අතරින් කැඩී වෙන්වී ගොස් සතුරා මරා දමයි. මෙම බෝම්බයේ ආවරණය සමන්විත වී තිබුනේ යකඩ බෝල තට්ටු තුනකිනි...මේ රිදී පාටින් දිලිසෙන චූටි බබා දැක ත්‍රස්තවාදියා සතුටින් පිනාගියේය...ආයිෂ් අම්මා ගුණ්ඩු...!!! අත් බෝම්බයක් මොඩිෆයි කරලා...මං මේක වහාම හදන්න ඕනේ. නිසි පුහුණුවක් නොමැතිව අත් බෝම්බයක් ගැලවීමට තැත්කිරීම...රාජ සඟබෝ හිසදී දුගියාටා කරගැනීමකි !.
                     කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සිටියදී මේ පර්යේෂණය කර අත් හදා බැලීමට කිසිදු අවස්ථාවක් නොලැබුණි. තලෙයි මන්නාරම් කඳවුරේ අත් බෝම්බ පුහුණුව සේලර්ලාට ලබාදෙන බැවින්...එහි ගිය වහාම මම වැඩ පටන් ගත්තෙමි. ඔෆීෂියල් විදියට මේක කවදාවත් කරන්න ලැබෙන්නේ නැත. කඳවුරෙන් වම්පැත්තෙන් ඇති වෙඩිපිටියේ අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ පුහුණු කටයුතු සිදුවිය. ඉස්සෙල්ලම පොඩි සයිස්...රවුම් අඳුරුකොළපාට බෝලයක් ආමරියෙන් ඉල්ල ගන්න ඕනේ... ID එක පෙන්වා පොතේ අත්සන් කලවිට පර්යේෂණ සඳහා මට ඕන දෙයක් ගන්න පුළුවනි. අඳුරුකොළපාට බෝලේ අතට ගත්තම ත්‍රස්තවාදියාට සෙල්ලම් බඩුවක් ලැබුන වගෙයි...මේ බර බෝලෙත් සාක්කුවේ දාගෙනකාමරේට ඇවිත්, කල්පනා කරා මේසෙ උඩ තියගෙන...බය වෙන්න දෙයක් නෑ බං...එකක් හම්බ උනොත් සාක්කුවේ දාගනින්...අත්බෝම්බයක් කියන්නේ ඉතාම ආරක්‍ෂිත භාණ්ඩයක්... බිම වැටුනට පුපුරණ දෙයක් නෙවෙයි. පින්එක ඇදලා ගලවලා...ලීවර්එක අත නොහැරියොත් පුපුරන්නේ නැත... ලීවර්එක අතනොහැර පින් එක ආයෙත් අමුණන්නත් පුළුවන්.  ඉස්සෙල්ලම මේක ගලවන්නේ නැතුව එකක් හදන්න ඕනේ. ගෙන්න ගත්තා බයිසිකල් රෙපයාර් කරන තැනකින් යකඩ බෝල පැකට් එකක්...සුපර්ග්ලු ගගා ඇලෙව්වා බෝම්බේ මතුපිට යකඩබෝල රවුමට රවුමට... මේක තවත් සුපර් ග්ලූ තට්ටුවක් දාලා වේලලා ගත්තා අම්මටහුඩු... Beauty Queen ! අපට නොදෙන...ඇමරිකන් Pearl Grenade එක වගේමයි. සංතෝෂම්...මගේ කාමරේ ජනේලෙන් පේනවා හවසට සේලර්ලා ක්‍රිකට් ගහනවා...මල්ලී ගහමුද බෝල ?
                                              ත්‍රස්තවාදියා ඊළඟ පුහුණු සැසියේදී ගියා අත්  බෝම්බ සහ මෝටාර් පුහුණුව බලන්න...සිම්පල්...වැඩක් !. ලිවර් එක තදින් අල්ලගෙන පින් එක ඇදලා...බෝම්බෙ ගැඹුරු වලකට වීසි කරලා බිම දිගාවෙනවා....ඕන නම් කාටූන් වල වගේ...පින් එක වීසිකරලා බෝම්බෙ සාක්කුවෙ දාගන්නත් පුළුවන් !. පුහුණුව අවසන් වෙලා හැමෝම ගියාට පස්සේ තල් ගහකට කවර් වෙලා හොඳට හුස්මක් අරගෙන පින්එක ඇදලා...බෝම්බෙ වලකට දාලා වහාම කන් දෙක වහගෙන බිම වාඩි උනා...දඩ්ඩාන්... පිපුරුවා සාමාන්‍ය විදියටම. කවද කාපු ටකරන්ද...බෝම්බෙ අතපත ගාලා බය නම් නැතිවෙලා තිබුනෙ...එත් දයානන්දටත් වැඩිය ආතතිය තිබුනා..මේ වැඩේ කරද්දී හාට් රේට් එක වැඩිවෙලා...තව ඩිංගෙන් මං මැරෙනවා...වලට එබිලා ප්‍රථිපල බලන්න ගියේ නෑ... හීංසැරේ පය ඉක්මන් කරලා කාමරේට රිංග ගත්තා. කන් දෙක දෙපැත්තෙන් දාඩිය බේරෙනවා. වෙඩි පුහුණු දවස නිසා කවුරුවත් සද්ද ආවට ගණන් ගත්තේනෑ. එදා හවසත් බාර් එකෙන් විස්කි ෂොට් දෙකක් දාලා හොඳට නිදාගත්තා.    
                  බෝම්බ පිපිරවීම සඳහා යෙදියහැකි ඉලෙක්ට්‍රොනික පරිපථ රාශියකි...
(1) වයර් එකක් කැපූ විට
(2) පොළවෙන් උඩට ඉස්සූ විට
(3) අත තැබූ විට  
(4) ඔතා ඇති කොලය ගැලවූ විට
(5) නියමිත කාලය පැමිණි විට (සමහර විට මෙය වසර කිහිපයක් විය හැක)
(6) වතුරට වටුනවිට
(7) වතුරෙන් උඩට ගත්විට
(8) පෑගුනවිට හෝ වාහනයක් උඩින් ගමන්කළවිට 
(9) රෑ බෝවී අඳුරු වැටෙන විට
(10)                   උදේ එළිය වැටෙන විට
(11)                   ලඟට එනවිට
(12)                   මිනිස් කට හඬට
(13)                   වාහනයක ශබ්දයට
(14)                   ජංගම දුර කථනයක් හෝ වෝකි ටෝකි එකක් යොදවමින්
(15)                   පොලවේ සිට උඩට ගෙනයනවිට        
                  මේ සරල පරිපථ සියල්ලම LED බල්බ් එකක් පමණක් යොදවා මාවිසින් අත්හදා බලන ලදී. ටයිමරයක් සහිතව නිපදවූ විට...දිගු දුර විහිදුම් බලකා සෙබළුන්ට තමන්ට අවශ්‍ය පරිදි...ඉතාම ආරක්ෂිතව මේවා යොදා ගත හැකිය. මේ අනුව කල්පනා කිරීමේදී බෝම්බයේ වර්ගය නොදැන...බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යෑම...කුමන පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකු කලත් මෝඩ වැඩකි. වර්ගය දන්නවා උනත් ඒක ඇතුලතින් මොඩිෆයි කරතිබුනොත් බඩු බනිස්!. රොබෝවක් පාවිච්චි කර ආරක්‍ෂිත ස්ථානයක තබා...දුරසිට වෙඩිතබා හෝ අධිවේගයෙන් වතුර විද, විනාශකිරීම හොඳම ක්‍රමයයි.         
                             බෝම්බයක් බිම වැටී පුපුරණ විට...එහි බලය සහිත කොටස් විහිද යන්නේ ඉංග්‍රීසි V අකුරේ හැඩයටයි. තමන්ගේ ලඟින්ම පිපිරීම සිදු නොවුන හොත් බිම දිගා වීමෙන් සිදුවන හානිය අවම කරගත හැකිය...මේක වලක්වා මුන්ගේ ඔලු ගලවන විදියක්...? දවසක් කාර් එක රිවස් කරද්දී ත්‍රස්තවාදියාගේ ඔළුවට ආවා නියම අයිඩියා එකක්...කාර්එකේ බෆර් එකේ සවිකර ඇති වහනය රිවර්ස් කරද්දී...භාවිත වන Proximity Sensor එක...මේක පාවිච්චි කරලා නියම ගේමක් දෙන්න පුළුවන්. උඩින් දාන හැම බෝම්බයක්ම පොළවෙන් අඩි පහක් උඩදී පුපුරණ විදියට හදන්න මේක පාවිච්චි කරලා පුළුවන්...බිම දිගා වෙලා බේරෙන්න හම්බවෙන්නෙනෑ... හිටගෙන හිටියොත් සතුරන්ගේ ඔළු ගැලවිලා යාවි...එක ගලෙන් කුරුල්ලෝ දහයක්...!!!  ගත්තා කාර් රිවර්ස් සෙන්සර් එකක්...සර්කිට් එක ටිකක් මොඩිෆයි කළා අවුට්පුට් එකෙන් detonator එකක් බ්ලාස්ට් කරන්න පුළුවන් විදියට...තත්පර 3ක ටයිමර් සර්කිට් එකකුත් හැදුවා...සර්කිට්එකට ඩෙට්එකක් පෑස්සුවා. UPS බැටරියකුත් අරගෙන... සපෝට් එකට කොල්ලෙකුත් අඬ ගහගෙන ගියා කෑම්ප් එකේ ඈත තියෙන උස සූරිය ගහක් ලඟට...දැන් ලෑස්තියි මූලික පර්යේෂනේට. ට්වින් වයර් එකක් ගහේ උඩම අත්තකට උඩින් දාලා  පහතට අරගෙන සර්කිට්එක අමුනලා...අඩි දහයක් විතර උඩට ඉස්සුවා...දැන් බැටරියට වයර් අමුණලා...ස්විච් එක දැම්මා...ටික ටික බිමට පහත් කළා...
                             Proximity Switch එක කලින් ඇජස් කරලා තිබුණවිදියට... ටොන්ග් !...හරියටම පොලවට අඩි පහක් උඩින් ඩෙට්එක බ්ලාස්ට් උනා. ටයිමර් සර්කිට් එකක් එක්ක Proximity Switch එකක් දාලා මෝටාර් RPG උනත් මේ විදියට කොටියාගේ මූන ඉස්සරහ...ගුවනේදී...බිමට වැටෙන්නට පෙර  පුපුරන්න හදන්න පුළුවන් ! එත් කෝ මේවා ගැන පර්යේෂණ කරන්න පහසුකම්...? මිනී මරන්න පර්යේෂණ ඕනෙනෑ කියල මානව හිතවාදීන්ට කියන්න පුළුවන්...එහෙම නම් ත්‍රිවිධ හමුදාවත් අවි ආයුධත් ඕනෙ නෑ...රටක ආරක්ෂාව ඉතා වැදගත්...බහුතර සාමාන්‍ය මිනිසුන්ගේ, ළමයින්ගේ ආරක්ෂාව සඳහා දරුණු ත්‍රස්තවාදීන් වහාම මරා දැමිය යුතුයි...කියන මතයේ මම අදත් ඉන්නවා.  ත්‍රස්තවාදය ඇතිවීමට බලපාන දේශපාලණ කරුනුත් වෙනස් කලයුතු බව ඇත්ත. ලෝකයේ වර්ග දෙකක මිනිස්සු සිටිති...එක වර්ගයක්....උදව්වක්මිස, කාටවත් හිරිහැරයක් නැති (මං වගේ අහිංසක) හොඳ මිනිස්සු...අනිත් වර්ගය...හොරකම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිණීමැරුම්, මංකොල්ලකන, වංචා කරන....නරක මිනිස්සු...පොලිසි, උසාවි, හිරගෙවල්, යුද්ධ, ත්‍රිවිධ හමුදා, අවිආයුධ ලෝකෙට අත්‍යවශ්‍ය ඒනිසාය.       
## අවවාදයයි...මේක කියවපු අයියලා...මං කරපුව කරන්න ගිහිං ඔළු ගලව ගන්න එපා !!!. ( මේ පෝස්ට් එක අයින්කරන්නද ? ) ##.