Sunday, 27 November 2016

රට මාළු


            මට අවරුදු හතක් අටක් විතර වෙනකොට හැදුන...නොම්මර එකේ පිස්සුවක්...ඒ තමයි රට මාළු පිස්සුව...රටළුණු, රටඉඳි, රටකජු, රට ගොරක...වගේම තමයි රට මාළු...මෙහේ මාළුන්ට වඩා ලස්සනයි...රට එක කොහොමත් මෙහේඑකට වඩා හොඳයි කියල තමයි පිළිගැනීම...රට මාළු නම් ඇත්තටම අපේ මාළුන්ට වඩා ලස්සනයි...දෙහිවල සත්ව උද්‍යානයේ මින්මැදුර දැක්කට පස්සේ මේ පිස්සුව උග්‍ර උනා. මුලින්ම තිබුන ප්‍රශ්නේ මාළු ටැංකියක් නැති එක. ගේ හදන්න සිමෙන්ති වැලි ගෙනැත් තිබුණනිසා...අත් හදා බලන්න හැදුව අඟල් 12 X 18 පොඩි මාළු ටැංකියක්...ඇතුල පේන්න එක පැත්තකට වීදුරු කෑල්ලකුත් දැම්මා...වැඩේ හරි ගියා...මගේ යාළු උපදේශක බමුණෙක් කිව්ව...මචං එකපාරටම ඕකට මාළු දාන්න එපා...සිමෙන්ති විසට මාළු මැරෙනවා...ඇල්බීසියා කොලයි වතුරයි දාල පල්කරන්න ඕනෙ කියල...ඉතිං ටැංකියට ඇල්බීසියා කොලයි වතුරයි දාල...දවස් පහක් විතර බොහොම ඉවසීමෙන් ඉඳල ටැංකිය හෝදල ගත්ත...එත් කෝ ඒකට දාන්න මාළු...? මාළු අරගන්න අම්මගෙන් සල්ලි ඉල්ලුවට භාන්ඩාගරෙන් අනුමත උනේ නෑ...ගෙදර ගාවින් ගලනව අඩි හතක් විතර පළල ඇලක්...ඒකෙ ඉස්සර පලිඟු වගේ පැහැදිලි වතුරේ පීනමින් හිටියෙ...කාවයියෝ, දන්ඩි, ලූල්ලු සහ නළහඳයෝ විතරයි. ඔළුවේ සුදුපාට තිතක් තියෙන නළහඳයා අඟල් එකහමාරක් විතර දිග දුඹුරුපාට මාළුවෙක්. ඌ වතුර මතුපිට පීනන එකෙක් නිසා අල්ලන්න ලේසියි.
                      ඉස්කෝලේ ඇරිලා ආපුගමන් හොයාහත්ත හෝර්ලික්ස් බෝතලයක්...කෙලින්ම සරමත් ගහගෙන ලාල් කියන යාළුවත් එක්ක බැස්ස ඇලට...ඝන්ටාරෙ තෙමාගෙන...සරමෙන් තමයි මාළු ඇල්ලිල්ල...ලෝක අමාරුවෙන් නළහඳයො දෙන්නෙක් අල්ලගෙන හෝර්ලික්ස් බෝතලේට දාගෙන ඇවිත්, දැම්ම ටැංකියට...දැන් මේක අලංකාර කරන්නත් එපායැ...වැල්ලෙන් ගෙනාපු ගල්මල් කෑල්ලකුත්...අඬු කැඩිච්ච පීරිසි කෝප්පෙක පැල කරපු හයිඩ්‍රිරිල්ලා ගස් ටිකකුත් දැම්ම ටැංකියට...පොඩි පාන්කෑලි දැම්ම මාළුන්ට කන්න...ලාල් ගේ උපදෙස් පරිදි පුංචි දිය ගොම්බෙල්ලෝ දෙන්නෙකුත් ටැංකියට දැම්මා...මේ ටැංකිය වරින්වර නිරීක්ෂණය කරන එක තමයි ප්‍රධාන රාජකාරිය...පිට්ටනියේ ඉඳන් ආපුගමන් කෙලින්ම යන්නේ ටැංකිය ගාවට...දවස් තුන හතරකට පස්සේ...  ඉස්කෝලෙන් ඇවිත් බලනකොට නළහඳයෝ දෙන්නා මැරිලා උඩු අතට සුදුපාටට පාවෙනවා...උන්ට පරිසර වෙනස්වීම දරාගන්න බැරිවෙන්න ඇති...
          ඔන්න පටන්ගත්තා මුරුගසන් වරුසාව...දවසෙම වහිනවා ඇල උතුරලා පාරත් යට උනා...දවස් ගානක් එකදිගටම වැස්සා...වැස්ස නැවතුනාට පස්සේ ලාල් ගෙනාවා සුබ ආරංචියක්...මචෝ...කන්දේ රටමාළු ඇතිකරන ගෙදර ලොකු ටැංකියක් කැඩිලා...රටමාළු ඇලේ ඉන්නවා...වහාම කම්බි රවුමකට රෙදි කෑල්ලක් ගැට ගහගෙන අතංගුවක් හදාගෙන...ලාලත් එක්ක බැස්සා ඇලට...ඒ වෙනකොටත් බාබර් ගෙදර කෙල්ලෝ (උන් කොල්ලන්ට හපන්) ගේමට බැහැලා...අපි උන්එක්ක රංඩු වෙවී මාළු ඇල්ලීමේ තරඟ ඉසව්වට බැස්සා...මට අහුඋනා සාරිගප්පියෙකුයි (නැට්ට සාරියක් වගේ දිගයි)  තද තැඹිලිපාට පුංචි ප්ලේටි පැටව් දෙන්නෙකුයි...ලාලත් ගප්පි දෙතුන් දෙනෙක් අල්ල ගත්තා...බාබර් ගෙදර කෙල්ලෝ ගෝල්ඩ් ෆිෂ් එකෙකුත් ඇල්ලුවා. ඉතිං රටක් රාජ්ජයක් දිනුවා වගේ තමයි...
                                             පසුකාලෙක මෙයිට වැඩිය ලොකු සිමෙන්ති ටැංකි මම හැදුවා...තද නිල්පාට ෆයිටර්ලා, රතු සුදු ගෝල්ඩ් ෆිෂ්ලා, රතු සහ කොළ පාට ස්වෝර්ඩ් ටේල්(අපි කිව්වෙ ෂෝට්ටේල් කියල), ඒන්ජල් මාළු මං ඇතිකළා... ෆයිටර් පිරිමි සත්තු දෙන්නෙක් ටැංකියට දැම්මොත් සිංහල එවුන් දෙන්නෙක්... ගල් බෝතලයක් දීල කාමරේකට දැම්ම වගේම තමයි...උන් මැරෙනකන්ම කොටාගන්නවා...උදේට අව්ව වැටුනම හයිඩ්‍රිරිල්ලා පැළවලින් වායු බුබුළු හැදෙන හැටි (පස්සෙ දැනගත්තෙ ඒ හැදෙන්නෙ ඔක්සිජන් කියල)...ඒවා ටික ටික ලොකුවෙලා කොලෙන් ගැලවිලා උඩට එන හැටි...පොල් කටුවල හිටපු මදුරු පණුවෝ, ගැඩවිලි පැටව් ගෙනැත් දැම්මම මාළු පොරකකා උන් කන හැටි...පුංචි ගොළුබෙල්ලෝ වීදුරුවේ බඩගාන හැටි...ගප්පි පැටව් දාන හැටි...ඒන්ජල්ලා බිත්තර පැලවල එල්ලන හැටි...කට ඇතුලේ තියාගෙන පැටව් ආරක්ෂා කරන හැටි නරඹන එකේ ත්‍රිල...නැෂනල් ජියෝග්‍රැෆි බලල ගන්න බෑ සර්...ඒ දවස් වල මං ජීවත් උනේ මේ පුංචි මාළු ටැංකිය තුල මැවුණු ලෝකයේ. අපේ දෙමව්පියෝ අපිට මාළු ටැංකි අරන් දුන්නෙ නෑ පුතේ.  

              ළඟදී අම්බලංගොඩ පහුකරන් යද්දී නැවතිලා ඇලට එබිලා  බැලුව...අපි මාළු අල්ලපු ඇළ දිහා...ඒක ළඟ දැන් තියෙන්නේ වාහණ සර්විස් කරන තැනක්...වතුරේ ඝනකම කළුතෙල් තට්ටුවක් පාවෙනවා...ඇයි නැවැත්තුවේ ශාමා ඇහුවා...මං මොනවත් කිව්වේ නෑ...ඇළ මැරිලා. මගේ හිත ඇතුලෙ ඒ රට මාළු ඇතිකරපු පුංචි එකා...අදටත් ජීවත් වෙනවා.      

Wednesday, 2 November 2016

පිරිමින්ගේ කඳුළු



ගැහැණු අඬනවා...
කඳුළු හොටු පෙරාගෙන...
කාන්තා සංවිධාන
බරසාර වචනයෙන් කියයි...
පුරුෂාධිපත්‍යලු...
ගෘහස්ත ප්‍රචණ්ඩත්වයළු
අහිංසක ගෑණුන්ට...
ගහනවලු බණිනවලු
දූෂණය කරනවලු
හැමෝම කියනවා...
හරිම පව්ලු...

ගැහැණුන් පිරිමින්ව...
උන්ගේ දැළිපිහි දිවෙන්..
හදවත කපමින් තීරු වලට
දිනපතාම ළමයින් ඉදිරිපිට
රෑ දවල් නොමැතිව දහස්වර
වාචිකව දූෂණය කර...
ඇද්ද තොට කියා
කට කොනින් හිනාවෙනහැටි...
ගෙදර ඉන්නට එපා කරවා...
මානසිකව වට්ටා
පාරට යවන හැටි...
පුරුෂ හිංසනය...
නැත එහෙම වචනයක්...

දරුවන් පියාගෙන්
වෙන්කර...අම්මා බුදුවේවා
කියව ගන්න හැටි...
පියාට වෛර කරන්නට
උගන්වන හැටි...
කව්රුවත් දන්නෙ නෑ...

ඔයාට මහන්සිද
ඔයා දවල්ට කෑවද
ඔෆිස් එකේ ප්‍රශ්නේ ඉවරද
ඔයාට තේ එකක් හදන්නද...
නෑ...නෑ...තමුසේ අදත් බීලද ?

හවසට ලැබෙන
පැණි බූන්දි පැකට් එක අරගෙන
පුංචි කාලේ බෙල්ල බදාගෙන
මං...තාත්තට තමයි වැඩිය ආදරේ...
කියපු පොඩිඑවුන් ...
දැන් දැක්කම...
හපුටු කරගන්නවා මූණු...

යහළුවන් පිරිවරා සිටියත්
ලෝකයේ හුඟක් පිරිමි
ඉන්නේ තනිවෙලා...
දුක වේදනාව අහන් ඉන්නේ...
මධු විත පමණයි
උන්ට මාකළ සියලුදේ
අමතක වෙලා...
හඬන්නේ හදවතින්....
බාර් වල අඩ අඳුරේ
තනියම බොමින් ...
හදවත දියවී...
කඳුළුනෙවෙයි...
ඒ ගලන්නේ ලේ !
සිගරැට් දුමාරෙන් වැහිලා
ලෝකෙට පේන්නේ නෑ...

තාත්තට බුදුවෙන්න බෑ...
ඌ බේබද්දෙක් වෙලා....!
Sarath Wimalasuriya