Wednesday, 21 November 2018

ශබ්ද දූෂණයට එරෙහිව පැමිණිලි කිරීමට.... මාතර පොලීසියට ගියෙමි.


මම :- ලවුඩ් ස්පීකර් බලපත්‍ර ගන්නේ කොතනින්ද ?
පිළිගැනීමේ නිලධාරි :- බලපත්‍ර අංශයට යන්න...
එහි ගියෙමි
මම : - ලවුඩ් ස්පීකර් බලපත්‍ර ලබා ගැනීම පිලිබඳ කරුණු ටිකක් දැනගන්න පුළුවන්ද ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- පුළුවන්...මොනවගේ දේවල්ද ?
මම : - බලපත්‍රයක් නොගෙන ලවුඩ් ස්පීකර් භාවිතා කරන්න මට පුළුවන්ද ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- බැහැ...කොහෙත්ම බැහැ...
මම : - මම එහෙම කලොත් මොනවද පොලීසියට කරන්න පුළුවන් ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- මහත්තයා කව්ද ?
මම : - විශ්‍රාමික රජයේ සේවකයෙක්
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- මොනවද කලේ ?
මම : - මම දොස්තර කෙනෙක්...නාවික හමුදා නිලධාරියෙක්
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඔබතුමා බලපත්‍රයක් නොගෙන ලවුඩ් ස්පීකර් භාවිතාකලොත්...ඒ උපකරණ අපි අත්අඩංගුවට අරගෙන... ඔබතුමාගෙන් කටඋත්තරයක් අරගෙන නඩු දානවා
මම : - මුස්ලිම් පල්ලි වලටත් ලවුඩ් ස්පීකර් භාවිතා කරන්න බලපත්‍ර ගන්න ඕනෙද ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඔව්...ඕනම කෙනෙක්ට මේ නීතිය අදාලයි
මම :- දැනට මාතර තියෙන මුස්ලිම් පල්ලි ඔක්කොම මේ විදියට බලපත්‍ර ලබාගෙන තියෙනවද ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඒ ගැන හොයල බලල ඕනෙ කියන්න
මම :- බලපත්‍ර කොන්දේසි මොනවද ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- රෑ දහයෙන් පස්සේ ස්පීකර් භාවිතා කරන්න තහනම්...සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වලට රෑ 12 වෙනකම් අවසර දෙනවා...අනිත් අයට සිකුරාදා සෙනසුරාදා දවස් දෙකේ විතරක් රෑ 12 වෙනකම් අවසර දෙනවා.
මම :- පන්සල් වලටත් ලවුඩ් ස්පීකර් භාවිතා කරන්න බලපත්‍ර ගන්න ඕනෙද ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඔව්
මම :- රෑ දහයේ නීතිය පන්සල් පල්ලි වලටත් අදාලද ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඔව් අදාලයි
මම :- ලවුඩ් ස්පීකර් බලපත්‍රයක් ලබාගෙන මගේ ඉඩමේ ලවුඩ් ස්පීකර් හයිකරල ඉවරවෙලා...පාරේ තියෙන ලයිට්කණු වලත් ලවුඩ් ස්පීකර් හයිකරන්න මට පුළුවන්ද ? 
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- එහෙමකරන්න බෑ ඒක නීති විරෝධියි...එහෙම කලොත් අපි වහාම බලපත්‍රය අවලංගු කරනවා
මම :- ලවුඩ් ස්පීකර් බලපත්‍ර නිකුත්කිරීමේදී ශබ්ධ දූෂණය නිසා මහජනතාවට එයින් හිරිහැරයක් වෙනවද කියල සොයාබැලීමක් කරනවද ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- නැහැ...එහෙම සොයාබලන්නේනෑ
මම :- දැන් මගේ ගෙදරළඟ පන්සලේ කඨින පිංකම නිසා දවස් තුනක් තිස්සේ දවල් රෑ දෙකේම...විශාල සද්දයකින් ලවුඩ් ස්පීකර් වලින් පිරිත්, බොදුබැතිගී, කවිබණ, මව්පිය වන්දනා, ආසන දෙකේ බණ, විරිදු ප්‍රචාරය කරනවා...පාරෙත් ලවුඩ් ස්පීකර් 10ක් හයිකරල තියෙනවා...මේ ලවුඩ් ස්පීකර් අත්අඩංගුවට අරෙගෙන පන්සලේ භාර කාරිත්වයට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්ද ?
බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- මේක මට විසඳන්න බෑ...ඔබතුමා පාලණ අංශය භාර...පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ මහත්තයට මේ ගැන පැමිණිලි කරන්න.
පාලණ අංශයට යයි...
පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ :- මොකක්ද ප්‍රශ්ණය ?
මම :- පැමිණිල්ල නැවතත් ඉදිරිපත් කලෙමි...ඔහු අවධානයෙන් සවන්දෙයි...
පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ :- පැමිණිලි අංශයේ CI අනිල් හම්බවෙලා පැමිණිල්ලක් දාන්න
ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් :-මොකක්ද ප්‍රශ්ණය ?
මම :- පැමිණිල්ල තුන්වන වරටත් විස්තර ඇතුව ඉදිරිපත් කලෙමි...
ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් :- මේක පංසලේ කඨින පිංකම ඒකට බලපත්‍ර නිකුත් කරල තියෙන්නේ. ඒගැන මොනවත් කරන්න බෑ. ඔය වගේ කතා කරනවානම්...එයාපෝට් එක වටෙයි...රේල් පාරදිගෙයි ඉන්න මිනිස්සු සද්දෙ ගැන පැමිණිලි කරාම එයාපෝට් එක වහනවද ? රේල් පාරෙ කෝච්චි යනඑක නවත්තනවද ? රෑට පිරිත් දාන එක ගමටම ආශීර්වාදයක්...බොදු බැතිගී අහං ඉන්න බැරි අමාරුව මොකක්ද ? අල්ලපු ගෙදර බෆල් වල සද්දෙ වැඩිනම් ඒවගේදේවල් අපට නවත්තන්න පුළුවන්...දැන් කඨින පිංකම නවත්ටන්න කියලද ඔයා කියන්නේ. 
මම:- මට මේ ගැන පැමිණිලි කරන්න ඕනේ...
ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් :- හරි මම දැන් හාමුදුරුවොයි දායක සභාවයි මිනිස්සුයි ඔක්කොම මෙතැනට ගෙන්නනවා...ඔයාට ගමෙත් ඉන්න බැරිවෙයි 
මම:- ඔය හැමෝගෙන්ම ගුටිකෑවොත් මං මැරෙයි...මං යනවා... 
ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් :- මේ...මේ...මහත්තයා ඔයාගෙ පදිංචිය වෙනස් කරන්න බලන්න...
මම: ස්තුතියි.

5 comments:

  1. මේක අරුම පුදුම නීති තියන රටක් කියලා අමතක කරන්න එපා. සතියකට වැඩි කාලයක් බැංකොක් ඉදලා අද ආපසු ආවා.පන්සල් කිසිම එකක් මේ විකාර දැක්කේ නැත.දැන් පදිංචිය වෙනස් කරනවද?

    ReplyDelete
  2. පන්සලක් හදන්න ප්‍රාදේශීය සභා නීති අදාළ නෑ කියන නායකයො ඉන්න කොට, පැමිණිල්ලක් විභාග කරන්න එන නිලධාරියා චෝදනා ලද හාමුදුරුවන්ට වැඳලම වැඩ පටන් ගන්න කොට, පාරේ වේල් කරත්ත ගිහින් පාරම අවහිර කරන කොට නිහඬව ඉන්නකොට ඕක එච්චර පුදුමයක් නෙවෙයි. ඔබට හැකියාවක් තිබේ නම් ASP ට පැමිණිල්ලක් දාන්න මේ පොලිසියේ නිලධාරීන් පැමිණිල්ල බාර ගන්නෙ නෑ කියලා. පොලිස් කොමිසම දක්වා යන්න හැකියි. මහජන පීඩා පණත යටතේ උසාවියෙන් තහනම් නියෝගයක් අරන් පිස්කල් මඟින් මෙම පීඩාව නැවැත්වීමට පියවර ගත හැකියි.

    ReplyDelete
  3. Jammer එකක් හදන්න, එතකොට උන් ඇවිත් ඔහේගේ .... jam කරලා යයි.

    ReplyDelete
  4. බොදු වහල්ලු. අපිට එකතු වෙලා යමක් කරන්න බැරිද. ආගම් ේදයකින් නෑකම් බේදයකින් තොර ගෘප් එකක් හදල එවැනි අවස්තා ගැන කියමු. මේ පැමිනිලි දිගටම පොලිස් මූලස්ථානය ට කියමු. දවසක මිනිස්සු ම නැගීටීවි. උත්සාහ කරමු. වහල්ලු ගෙ චින්තනය වෙනස් කරන්න

    ReplyDelete
  5. මාත් තව ටික දවසකිං ඔහොම පැමිණිල්ලක් දාන්ඩයි යන්නේ.ඒකනං මුස්ලිම් පල්ලියකට. හැමදාම උදෙ 4.35ට මට නැගිටින්න ඕනෙ නෑ.
    මම හිතන්නේ මිලින්ද මොරගොඩ මහත්තයා ඔහොම පන්සලකට විරුද්ධව පැමිණිල්ලක් කරා.අන්න ඒ කේස් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න.මිලින්දටනං කට්ටිය බැන්නා අම්බානට.ඒ උනාට මම නං ඒ කේස් එකේදි පොරගෙ පැත්තේ.

    ReplyDelete