Thursday, 14 June 2018

රූකඩ අම්බලන්ගොඩ...


මා කුඩා කල අපේ ගේ ඉදිරිපිට කඳු ගැටයක් මත ඉතා අලංකාර මන්දිරයක් විය. එහි උද්‍යානයේ ඉතා අලංකාර මල් වර්ග වවා තිබුණි. එහි ගෘහ අධිපතියා වූයේ නඩුකාර හාමුදුරු කෙනෙකි. මේ ප්‍රතාපවත් මිනිසා විනිසුරු T C P ප්‍රනාන්දු නම් විය. ඔහුට ඒශන්, ලලීන් යනුවෙන් පුතුන් දෙදෙනෙක්ද චාමිණී නම් දියණියක්ද විය. පුතුන් දෙදෙනාම පසුකලෙක හමුදා නිලධාරීන් වූහ. ඔහුගේ බිරිඳ වූයේ චම්ලි ගුණවර්ධනනම් වාමාංශික දේශපාලඥගේ නැගණියයි. ඇය සුද්දියෙක් මෙන් සුදු රූමත් අහංකාර ස්ත්‍රියක් විය. අප ඇය හාමු වශයෙන්හැඳින්වීමු. කිසිවකුට අනවසරයෙන් එම වත්තට ඇතුළු වීමට ඇය ඉඩ නොදුන්නේය. මගේ පියා ඔවුන්ගේ දරුවන්ට සිංහල ඉගැන්වීමට ගිය නිසා මට එම මන්දිරය දැකබලා ගැනීමට ලැබුණි. මේ නඩුකාර තුමා පසුකලෙක අම්බලංගොඩ නගරාධිපති ලෙසද පත්විය. ඉංග්‍රීසියෙන් කතාකරන මේ තද ගතිගුණ ඇති මිනිසා පුදුමයකට මෙන් විශ්ෂ්ඨ කලා රසිකයකු විය. ඔහු ඇළුම් කලේ රූකඩ කලාවටයි. ඔහු එයට කොතරම් ආශක්තවීදයත් තමන්ගේ වත්තේ කෙලෙවරේ රූකඩ නාට්‍ය පෙන්වීමට කුඩා නිවසක් සෑදවීය. එහි පසුපස කොටසේ කදුරුලී වලින් රූකඩ නිෂ්පාදනයකිරීම, ඒවා නැටවීම පුහුණු කිරීමට ගුරුන්නාන්සේලා නේවාසිකව සිටියහ. ඔවුන් තබ්ලා, සර්පිනා වාදනය කරමින් රූකඩ නටවන්නට පුහුණුවන අන්දම බලාසිටීමට අපි හාමුගේ වත්තට හොරෙන් රිංගුවෙමු. ඉඳහිට...හාමුගේ වත්තේ ඇති විශාල පේරගස්වලට සුද්දය දීමටද අමතක නොකළෙමු.
කොළඹ සිටින තමන්ගේ හිත මිතුරන්ට, නෑයින්ට, ප්‍රභූවරුන්ට රූකඩ සංදර්ශන පැවැත්වීමෙන් නඩුකාර උන්නාන්සේ මහත් විනෝදයක් ලැබීය. එම දිනවලදී Brooklyn යනුවෙන් නම් සඳහන්කර ඇති මන්දිරයේ විශාල යකඩ ගේට්ටුව දෙපසට ඇරදමා තිබුණි. මේ ගම්වැසියන්ට රූකඩ නාට්‍ය නොමිලේ නැරඹීම සඳහා ඔහු නිහඬව ආරාධනා කල අයුරුයි. ආරාධිතයෝ ඉදිරිපෙළ අසුන්වල සිට රූකඩ සංදර්ශනය රසවින්ද අතර අපි පසුපෙලට වී හිටගෙන රූකඩ කතන්දර නැරඹුවෙමු. විදුර ජාතකය, සිරිසඟබෝ ජාතකය, කෝනංගි නැටුම, මරඟණන් පැරදවීම, චිංචි මානවිකාවගේ කතාව, පොලිස් කෝලම ආදිය මට මතක ඇති කතන්දරයි. මුලින්ම රූකඩ කලාව අම්බලන්ගොඩට හඳුන්වා දුන්නේ පොඩිසිරිනා ගුරුන්නාන්සේය. ඔහු බ්‍රිතාන්‍ය රාජකීයයන්ගෙන් සම්මාණලද කලාකරුවෙකි. පසුව ඔහුගේ පරපුරේ අය රූකඩකලාව ඉදිරියට පවත්වාගෙන ගියහ. වරෙක නඩුකාර උන්නාන්සේ ජානා හව්ලිකෝවා නමැති රුසියානු Glow Puppet නැටවීමට දක්ෂ ශිල්පිණියක් ගෙන්වා සංදර්ශනයක් පැවැත්වීය. ඒ දිනවල විරාජමානව වැජඹුනු නඩුකාර මන්දිරය දැන් දියසෙවෙල්කා ගරාවැටී ඇති අන්දම දක්නට ලැබීම ශෝකජනකය.
මෙම රූකඩ කලාව දැන් අභාවයට යමින් ඇත. රූකඩ කියූවිට අම්බලංගොඩ නගරය මතක්වන එක ළඟදීම නැතිවනු ඇත. දැන් නඩුකාර මන්දිරය දියසෙවෙල්කා ගරාවැටී ඇත. එහි දැන් කිසිවකු ජීවත්වනවාදැයි මා දන්නේනැත. පැරණි රූකඩ සහ වෙස්මුහුණු වලින් බොහොමයක් පටබැඳිමුල්ලේ අපේ නිවස අසල ඇති ආරියපාල ගුරුන්නාන්සේගේ වෙස්මුහුණු කෞතුකාගාරයයේ ප්‍රදර්ශණයට තබා ඇත. රූකඩ නටවන්නේ කතිරයක ආකාරයට අල්ලාගත් ලීකැබලි දෙකකට නූල් සවිකර ඒවා රූකඩයේ අත් පා වලට ගැටගසා උඩට පහතට ඇදීමෙනි. මෙයට ඉතා අසීරු පුහුණුවක් අවශ්‍යවිය. වරක් ඈත පළාතකදී පැවැත්වූ රූකඩ සංදර්ශනයකදී පොඩි අඩියක් ගසා සිටි ගුරුන්නාන්සේට බුදුහාබුදුරුවන්ගේ සහ මරඟනගේ රූකඩ මාරුවිය, මරඟන සමාධිගතව වැඩසිටින අතරේ බුදුහාමුදුරුවෝ සිව්ර කරට ගෙන ඔසවමින්...සිරා ඩාන්ස් එකක් දමන්නටවීම නිසා...හූ නාදය දසඅතේ පැතිරී තිබුණි !

.

7 comments:

  1. රූකඩ හා වෙසමුහුණු.. අම්බලන්ගොඩට ආස වෙන්න ප්‍රධාන හේතුවක්.. <3 <3

    ReplyDelete
  2. හවස සෝ එකේදී
    දික්තලා- ඒයි කොට මිනිහෝ
    කාලගෝල-එහෙම කියන්න එපා සොඳුරිය
    රෑ සෝ එකේදී
    අඩිය පොඩ්ඩක් වැඩි වුනාම
    දික්තලා- ඒයි කොට මිනිහෝ
    කාලගෝල- කොට මිනිහ,කොට මිනිහ උඹලැයි අම්මා
    දසත සිනා

    ReplyDelete
  3. අර නඩුකාර වළව්ව දැන් තියෙන තත්ත්වය අහද්දී නිකන් පොඩි අවුල් ගතියක් දැනුනා. අනිවාර්යයෙන් ඒ ළමයි වෙන වෙන රටවලට ගිහින් ඇති...

    වතාවක් අපි කැම්පස් එකේ රූකඩ ෂෝ එකක් කරන්න සෙට් එකක් ගේන්න ගිහින් කාපු කට්ට සහ ගිය වියදම මතක් උනා මේ පෝස්ට් එක කියවද්දී...

    ReplyDelete
  4. ලඟදි බලපු වෛෂ්ණාවී ෆිල්ම් එක මතක් උනා මේක කියවලා..

    ReplyDelete
  5. mee dawas wala wadiyen blog liyanne ali wate wada aduda mee tike??

    ReplyDelete
  6. ශරත් බොස් මතකද 'මෙන්න රූකඩ අම්බලන්ගොඩ!'
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  7. ආරාධිතයින්ට රූකඩ පෙන්නන දවස්වලට ගමේ මිනිස්සුන්ටත් වත්ත ඇතුලට එන්න දීපු එක වටිනව.

    ReplyDelete