Friday, 2 February 2018

මම සහ මගේ පව්ලේ උදවියගේ ජන්ද භාවිතාව...

මම සහ මගේ පව්ලේ උදවියගේ ජන්ද භාවිතාව...
මගේ මවසහ පිය දෙදෙනාම ගුරුවරු වූහ. පියා බොහෝ දැනුමැති සිංහල සහ සිංහල සාහිත්‍ය ගුරුවරයකි. පුහුණු ගුරුවරියකවූ මව ඉගැන්වූයේ බුද්ධාගම, සිංහල සහ ඉතිහාසය යන විෂයන්ය. කරන්දෙණිය මධ්‍ය මහාවිධ්‍යාලයේ ඉගැන්වූ දෙමව්පියෝ මා දන්නා කාලයේ සිටම කැපුවත් කොළ වර්ගයේ UNP කාරයෝ වූහ.
ඒ නිසා මැතිවරණයකදී ජන්දය දීම, ඔවුනට මටමෙන් බරපතල ගැටළුවක්වූයේ නැත. පියා අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී වීම සඳහා වෛද්‍ය M H සද්ධාසේන මැතිතුමාට බොහෝ උදව්කළේය. ඔහුට පසුව ප්‍රසිද්ධ ගණිතඥයකු වූ පී ද ඇස් කුලරත්න මහතා අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී බවට පත්විය (දැන් ඉන්න පට්ට හොරුන් මෙන් නොව...ඔව්හු නියම අවංක, බුද්ධිමත්, ධනවත් මහත්තරු වූහ). සද්ධාසෙන, කුළරත්න, එම් එස් අමරසිරි යන තිදෙනාගේම මැතිවරණ වේදිකාවල ප්‍රධාන කථිකයකුවූයේ මගේ පියා වන ගුණපාල විමලසූරියයි. ඔව්හු මැතිවරණයක් ලං වත්ම මැතිවරණ වේදිකාවල කතාපැවැත්වීම සඳහා තාත්තා කැඳවාගෙන යෑමට ගෙදරට පැමිණෙති. තාත්තාගේ කවි, උපහාස රසය සහිත කතා ඇසීමට මිනිස්සු බොහෝ ආසා කළහ. මමද මීටිමේ මුල්ලකට රිංගා මේ කතා අසා සිටියෙමි.
ගුණපාල විමලසූරිය අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ පැවති UNP රැළි වල ප්‍රධාන කථිකයකු විය. කිසිම පුද්ගලික වාසියක් නොමැතිව ඔහු මෙසේ UNP දේශපාලණයට සම්බන්ධවූයේ මන්දැයි මම දන්නේ නැත. මගේ බාප්පා හිටපු ගම්පති සුමණපාල විමලසුරියද කැපුවත් කොළ වර්ගයේ UNP කාරයෙක් විය. සෑමදාම පටබන්දිමුල්ල කොට්ඨාශයේ UNP ජන්දපොල නියෝජිතයා වූයේ සුමණපාල විමලසුරියයි. එම වරදට 89දී JVP එකෙන් මහරෑ දොර කඩා ගෙට පැන, වෙඩිතබා ඔහු ඝාතනය කරන ලදී.
සම සමාජ පක්ෂයෙන් බලයට පැමිණි ධනවත් ලී මෝල් සහ වතු අයිතිකාරයකුවූ ඇල් සී ද සිල්වා මහතා අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී බවට පත්වී දින දෙකක් ඇතුලත කල ප්‍රථම රාජ කාරිය වූයේ මගේ පියා නුවරඑළියේ හාවාඑලියට මාරු කිරීමයි. ඕකා...හීතල කාලා මැරේවි, කියා ඔහු පවසා තිබුණි. තාත්තාද නිකංම පරාජය බාරගන්නා කෙනෙකු නොවේ ඔහුගේ ගෝලයෝ බොහෝ පිරිසක් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ සේවය කළහ. ඔහු සති දෙකකින් මාරුවක් සාදාගෙන අම්බලන්ගොඩ අසල කුලීගොඩ පැත්තේ ඉස්කෝලෙකට නැවත පැමිණියේය. අපේ ගේ වටේටම සිටියේ අපට ඊර්ෂ්‍යා කල සමසමාජ සතුරන් පිරිසකි...ඔව්හු වහාම ඇල් සී ද සිල්වාට කියා තාත්තා නැවතත් ගමනාගමන පහසුකම් අඩු බලගොඩ නමැති දුෂ්කර ප්‍රදේශයට මාරුකළහ. මේ අන්දමට ඇල් සී ද සිල්වා මහතාගේ මන්ත්‍රී ධූර කාලය ඇතුලත ඔහු පාසැල් 17කට වරින්වර මාරු කරමින් ඔහුට හිරිහැර කලේය. සතුරෝ මෙයින් බලවත් සතුටක් ලැබූහ. මේ හිරිහැර කරදර නිසා තාත්තාගේ දේශපාලණ සතුරෝ අමන්දානන්දයට පත්කරමින් පියා හෘදයාබාධකට ලක්වී හෘදරෝගියකු බවට පත්විය. 77දී UNP එක බලයට පත්වූ පසු තාත්තට එතෙක් නොලැබූ උසස්වීම ලැබී ඔහු අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද ප්‍රථමික විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත්විය. ඉන් මාස තුනකට පසු දෙවන හෘදයාබාධයට ගොදුරුවී ඔහු විදුහල තුලම මියගියේය...
දැන් අපේ පව්ලේ උදවිය ගෙන් බාල සහෝදරිය සහ මල්ලි මහින්දගේ බයියන් බවට පත්වීඇත. දෙවෙනි සහෝදරිය සහ වැඩිමල් සහෝදරිය UNP එකට ජන්දය භාවිතා කරමින් සිට...මුන් ඔක්කොම හොරු බං කියමින් මෙවර එකෙකුටවත් ජන්දය නොදීමට තීරණය කර ඇත. මගේ ජන්දය...UNP එකට, ශ්‍රීලංකා එකට (චන්ද්‍රිකාට), මුල් අවස්ථාවේ මහින්දට. මහින්දගේ පුතුන් සහ හෙන්චයියන්ගේ හොර මැර මිණීමැරුම් නිසා. නැවත ගියවර UNP එකට ජන්දය දුන්නෙමි.එක එක පක්ෂවලට වරින්වර ජැක්ගසන මහානායක වරුන්ගෙන් දේශපාලන උපදෙස් ගන්නා ජෙප්පන්ගේ මෝඩ ශ්‍රී ලාංකික පන්නයේ එක්ස්පෙරිමන්ට් මෝඩ සමාජ වාදයට මං කැමති නැත. UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු කාරයෝ කරන තක්කඩි හොරකම්, මිණීමැරුම් වලට මට වගකියන්නට බැරි නිසා...මං මෙවර ජන්ද දෙන්න යන්නේ නැත...මගේ බිරිඳ මට ගෙදර වැඩතියෙනවා කියමින් මම කිව්වත් ජන්දය දාන්න කවදාවත් ගියේ නැත...දියණියෝ දෙදෙනාද දේශපාලණය ගැන කලකිරී මෙවර එකෙකුටවත් දෙන්නේනෑ කියා කියති...ජන්දය කටුගාන්න යන්නත් වරෙක සිතේ. ඔබ මෙය මෝඩ වැඩක් කියා කියනු ඇත. මට වෙන විකල්පයක් නැත.

7 comments:

  1. අපේ ගම් වල යූ. එන් පී. එවුන් නම් අමු මැරයෝ . අපි දැක්කේ උන්ගේ මැරකම් .
    මගේ යුවුන් කාලය ගෙවුනේ හිර ගෙවල් වල අටමා දන්නවා.

    අතීතය ගැන දැන් හොයන්නේ නැතිව ගහපන් ලොක්කෝ ජී.වෙඑඑ. එකට මේ පාර.

    ReplyDelete
  2. සමාජවාදී රටක අවුරුදු 5-6ක් ජිවත් වී ඇති නිසාද, තවත් සමාජවාදී රටවල සංචාරය කර ඇති නිසාද, ජෙප්පොන්ට ජන්දය දිය නොහැක. රෝසි වගේ සුන්දර කාන්තාවෝ අපට නැති නිසා unp ට චන්දය දීමටත් නොහැක,අනෙත් උන්ට චන්දය දීමට තරම් මොලේ මඤ්ඤං වෙලාද නැත, අනන්‍යතාව සහතික කිරීම සඳහා කුරුටුගාමියකු වෙමි.

    ReplyDelete
  3. යූ එන්පී, ශ්‍රී ලන්කා හා යූඑන්පී එකෙන් කැඩුනු පක්ශවලට චන්දෙ දීලා තියනව

    හැමදාම චන්දෙ දීලා තියෙන්නෙ එක් කණ්ඩායමක් පරද වන්න මිස කාවවත් දිනවීමේ ආසාවකින් නොවන නිසා මට කවදාවත් දීපු චන්දෙ ගැන දුක හිතිලා නෑ

    ReplyDelete
  4. විශේෂ හේතුවක් නොවුනොත් මම සාමාන්‍යයෙන් ඡන්දේ දාන්න යන්නේ නෑ.. මෙදා පාර නම් තවම එහෙම විශේෂ හේතුවක් ලැබුනේ නෑ.

    ReplyDelete
  5. Oya pradana paksa deken batakapu minissu pramanaya ganan hadala baluwoth athi wishalai.77 indala 94 wenakam ape ammatai thaththatai rajaye rekiyawak ganna beriuna. Ammata labichchi gurupathweem unp kenekuta deela thiyenawa.

    ReplyDelete
  6. ඩොකාගේ රසවත් ලියුම් පරක්කු වෙන එක දුකක්.

    ReplyDelete
  7. හොඳ තීරණයක්.මම දෙන්නෙත් නෑ චන්දෙ..දෙන්න ගිහින් එන වෙලාවත් අපරාදේ..

    ReplyDelete