Saturday, 17 December 2016

කාන්තාවන්ගේ කාර්මික දැනුම

                                  වැඩඇරිලා බස් එකේ හිරවෙලා දාඩිය පෙරාගෙන ගෙදර ඇවිත් සීලිංෆෑන්එක දාගෙන...හාන්සිපුටුවේ ඇලඋනා... ෆෑන්එක බ්‍ර්ර්ර්ර්ර් ගානවා මිස හෙල්ලෙන්නෙ වත් නෑ...  නෝනේ...මේ ෆෑන්එක වැඩකරන්නෙනෑ මේක කැඩුනෙ කවදද ? අයියෝ මේ මෝඩ මනුස්සය සීලිං ෆෑන් එකක් දාන හැටි වත් දන්නෙ නෑ...මනුස්සයෝ පරණ සීලිං ෆෑන් ඔහොම දැම්ම ගමන් වැඩකරන්නෙනෑ...ඕකට කොස්ස අරං මිටෙන් තට්ටුවක් දානවා...මගේ තට්ටෙ මතක්වෙන කෙඳි අඩු කොස්සෙ මිටෙන් පොඩි තට්ටුවක් දැම්ම...අවරුදු 45ක් පරණ...ඌෂාෆෑන්එක...කරස්...කරස් ගගා ස්ටාර්ට් වෙලා....ඔය යන්නෙ කෙළගෙන...ෂා මාර හුළඟ...දාඩිය හිඳුනා...පට්ට සනීපයි !...අලුත් සීලිං ෆෑන් කැලේ...කරුවලත් වැටීගෙන එනවා ලයිට් එක දාගෙන පත්තරේ කියවන්න ඕනේ...දැම්මා ලයිට් එක...හුටා...පත්තුවෙන්නෙ නෑ...නෝනේ සාලෙ බල්බ්එක ගැහිලද පත්තුවෙන්නෙ නෑ ? නෑ...නෑ හයියෝ...හයියෝ...මේවගේ මනුස්සයෙක්... සාලෙ බල්බ්එක ගැහිලනෑ...ඔය සමහර අලුත් LED බල්බ් ඔහොම පත්තු වෙන්නෙ නෑ...ඔය ස්විච්එක දහපාරක් උඩ පහත දානවා...එතකොට හරි...කුස්සියෙන් ආව නියෝගෙ... එකායි...දෙකායි..............................දහයයි...  අම්මටසිරි බඩු වැඩ...ආලෝකය පහලවිය !. නෝනේ මට තේඑකක් හදල දෙනවද මට හරි මහන්සියි...තමුසෙට විතරයි මහන්සි...මං දරුවො එක්ක දවසෙම නැහෙනවා පේන්නෙ නැද්ද...තේකොළ සීනි කුස්සියේ තියෙනවා අරං හදා ගන්න එකයි ඇත්තෙ...දැම්ම වතුර බෙලෙක්කෙට  ගැහුව හීටරේ...මළා...වතුර රත්වෙන්නෙ නෑ...නෝනේ මේ හීටරේ පිච්චිලා...පිස්සුද මිනිහෝ ඕක වැඩකරනවා...ඕකෙ වයර්එක තුන්පාරක් ප්ලග්එක ගාවින් එහාට මෙහාට නවනවා “මෙගා හීටර්” පරණ වෙනකොට වැඩකරන්නේ එහෙමයි...එකයි දෙකයි තුනයි...හරි පුදුමයි වතුර රත්වෙනවා...අපේ නෝනෙගෙ මොළේ තමයි මොළේ ...කව්ද කියන්නේ හැඳිමිටේ දිගයි කියල ? මළගෙදරක් තියෙනවා යන්න ෂර්ට් එකක් අයන් කරගන්න ඕනේ ගැහුවා අයන්එක විනාඩි පහක් ගියා අයිස් වගේ සීතලයි... රත්වෙන්නෙ නෑ නෝනේ අයන්එකේ එලිමන්ට් එක ගිහින්වගේ...පිස්සුද ? මම උදෙත් දූගෙ යුනිෆෝම් එක අයන් කලේ...පොඩ්ඩක් ඉන්නවා බලන්න...ඕකෙ හීට් එක අඩුවැඩි කරන කෑල්ලට පිහියේ මිටෙන් පස් පාරක් තට්ටු දානවා වැඩකරයි...සිංගර් අයන් පරණ වෙනකොට වැඩකරන්නෙ ඒ විදියට...නෝනා කිව්ව විදියට පිහියේ මිටෙන් තට්ටු කළා විතරයි...ගිනිදාගෙන මේ රත්වෙන්නෙ !
                ප්‍රයිවෙට් මේල් ටික චෙක්කරගන්න ඩෙක්ස් ටොප් එක දැම්මා හුටා ඒකටත් කෙළවෙලා බූට් අප් වෙන්නේ නැත...නෝනා අද  ඔයා කම්පියුටරේ දැම්මද...දැන් ස්ටාර්ට් වෙන්නෙ නෑ...මන් මේ දැන්ටිකකට ඉස්සෙල්ල දුවත් එක්ක ගේම් එකකුත් ගැහුවනේ...පොඩ්ඩක් ඉන්නවා බලන්න...නෝනෙ රෙපයාර් එක බාර ගත්තා...හරි හරි මේක වයිරස් අටෑක් එකක්...කලිනුත් ඕක ඇවිත් මං ක්ලීන් කළා....මේ වයිරස්එක රුසියන් කාරයෝ හදපු පෙරෙස්ත්රොයිකා කියන වෛරසේ...හරිම දරුණු එකක්...මේක ආවම කම්පියුටරේ රත්වෙන්නෙ නැතුව යනව...ඕවත් පරණවෙනකොට ඩීසල් වාහණ වගේතමයි...රත් උනොත් විතරයි හාඩ්එක කැරකෙන්නේ...අර මගේ හෙයා ඩ්‍රයර් එක ගෙනැත් ඕකෙ ෆෑන් එක තියෙන තැනට අල්ලලා හුලං ඇතුලට යවල ටිකක් හීට් කරනවා...එතකොට හරියයිද නෝනෙ...පණ්ඩිතයා නොවී මං කියන විදියට කරනවා... හෙයා ඩ්‍රයර් එක ඇල්ලුව විතරයි වයිරස් එක ක්ලියර්...බඩු ස්ටාර්ට්...අදතමයි දන්නෙ අපෙ නෝනෙ...සොෆ්ට් වෙයා/හාඩ්වෙයා ස්පෙෂලිස්ට් කියල...මාරයි

                   ප්‍රවෘත්ති බලන්න හිතාගෙන දැම්ම TV එක...නෝ කථා නෝ සිනා...අයියෝ මේකත් කැඩිලනේ...නෑ නෑ මනුස්සයෝ සෝනි TV පරණවෙන කොට දාන්න ඕන විදියක් තියෙනවා...ඕකෙ වම්පැත්ත ටිකක් උස්සලා එකපාරටම මේසෙ උඩට අතඅරින්න වැඩකරයි... තුම් පාසෙ ආයේ...යූ...මුස්කුරායේ  මාරයි මේ වැක්කෙරේන්නේ...හින්දි කර්තාහේ. මේ මළ කරුමවලින් බේරිලා මළගෙදරගිහින් පොඩි අඩ්ඩක් ගහල රෑට කෑමත් කාල එන්න හිතාගෙන නැග්ග මරුති සුසුකි එකට. කාර් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ...ගල් ගෙඩිය වගෙයි...නෝනේ..නෝනේ කාර් එක ස්ටාර්ට් වෙන්නෙ නැතෝ... මොකද නැත්තෙ...මම දවල් කාගිල්ස් එකටත් ගිහිං ආවේ...කෝ බලන්න...ඔයා දන්නෙ නෑ ඔය මරුති සුසුකි කාර් පරණ වෙනකොට හයිබ්‍රිඩ් මෝටරේ හිරවෙනවා...බොනට්එක උඩට උස්සලා දෙපාරක් දඩස් ගාල එකපාරට අතඅරින්න එතකොට හරි... දඩස්...දඩස්... දෙපාරක් බොනට්එක උඩට උස්සලා අතඇරිය...එකපාරයි ගැහුවෙ බ්ර්ර්ර්ර්ම්... බ්ර්ර්ර්ර්ම්  හරියටම හරි...බඩු ස්ටාර්ට්... අම්මප අපෙ නෝනෙගෙ මෝටර් මිකැනිසම් දැනුම අති විශිෂ්ඨයි... නෝනෙට බයි.. බයි... කියලා මං ඉගිල්ලුනා !