Sunday, 27 November 2016

රට මාළු


            මට අවරුදු හතක් අටක් විතර වෙනකොට හැදුන...නොම්මර එකේ පිස්සුවක්...ඒ තමයි රට මාළු පිස්සුව...රටළුණු, රටඉඳි, රටකජු, රට ගොරක...වගේම තමයි රට මාළු...මෙහේ මාළුන්ට වඩා ලස්සනයි...රට එක කොහොමත් මෙහේඑකට වඩා හොඳයි කියල තමයි පිළිගැනීම...රට මාළු නම් ඇත්තටම අපේ මාළුන්ට වඩා ලස්සනයි...දෙහිවල සත්ව උද්‍යානයේ මින්මැදුර දැක්කට පස්සේ මේ පිස්සුව උග්‍ර උනා. මුලින්ම තිබුන ප්‍රශ්නේ මාළු ටැංකියක් නැති එක. ගේ හදන්න සිමෙන්ති වැලි ගෙනැත් තිබුණනිසා...අත් හදා බලන්න හැදුව අඟල් 12 X 18 පොඩි මාළු ටැංකියක්...ඇතුල පේන්න එක පැත්තකට වීදුරු කෑල්ලකුත් දැම්මා...වැඩේ හරි ගියා...මගේ යාළු උපදේශක බමුණෙක් කිව්ව...මචං එකපාරටම ඕකට මාළු දාන්න එපා...සිමෙන්ති විසට මාළු මැරෙනවා...ඇල්බීසියා කොලයි වතුරයි දාල පල්කරන්න ඕනෙ කියල...ඉතිං ටැංකියට ඇල්බීසියා කොලයි වතුරයි දාල...දවස් පහක් විතර බොහොම ඉවසීමෙන් ඉඳල ටැංකිය හෝදල ගත්ත...එත් කෝ ඒකට දාන්න මාළු...? මාළු අරගන්න අම්මගෙන් සල්ලි ඉල්ලුවට භාන්ඩාගරෙන් අනුමත උනේ නෑ...ගෙදර ගාවින් ගලනව අඩි හතක් විතර පළල ඇලක්...ඒකෙ ඉස්සර පලිඟු වගේ පැහැදිලි වතුරේ පීනමින් හිටියෙ...කාවයියෝ, දන්ඩි, ලූල්ලු සහ නළහඳයෝ විතරයි. ඔළුවේ සුදුපාට තිතක් තියෙන නළහඳයා අඟල් එකහමාරක් විතර දිග දුඹුරුපාට මාළුවෙක්. ඌ වතුර මතුපිට පීනන එකෙක් නිසා අල්ලන්න ලේසියි.
                      ඉස්කෝලේ ඇරිලා ආපුගමන් හොයාහත්ත හෝර්ලික්ස් බෝතලයක්...කෙලින්ම සරමත් ගහගෙන ලාල් කියන යාළුවත් එක්ක බැස්ස ඇලට...ඝන්ටාරෙ තෙමාගෙන...සරමෙන් තමයි මාළු ඇල්ලිල්ල...ලෝක අමාරුවෙන් නළහඳයො දෙන්නෙක් අල්ලගෙන හෝර්ලික්ස් බෝතලේට දාගෙන ඇවිත්, දැම්ම ටැංකියට...දැන් මේක අලංකාර කරන්නත් එපායැ...වැල්ලෙන් ගෙනාපු ගල්මල් කෑල්ලකුත්...අඬු කැඩිච්ච පීරිසි කෝප්පෙක පැල කරපු හයිඩ්‍රිරිල්ලා ගස් ටිකකුත් දැම්ම ටැංකියට...පොඩි පාන්කෑලි දැම්ම මාළුන්ට කන්න...ලාල් ගේ උපදෙස් පරිදි පුංචි දිය ගොම්බෙල්ලෝ දෙන්නෙකුත් ටැංකියට දැම්මා...මේ ටැංකිය වරින්වර නිරීක්ෂණය කරන එක තමයි ප්‍රධාන රාජකාරිය...පිට්ටනියේ ඉඳන් ආපුගමන් කෙලින්ම යන්නේ ටැංකිය ගාවට...දවස් තුන හතරකට පස්සේ...  ඉස්කෝලෙන් ඇවිත් බලනකොට නළහඳයෝ දෙන්නා මැරිලා උඩු අතට සුදුපාටට පාවෙනවා...උන්ට පරිසර වෙනස්වීම දරාගන්න බැරිවෙන්න ඇති...
          ඔන්න පටන්ගත්තා මුරුගසන් වරුසාව...දවසෙම වහිනවා ඇල උතුරලා පාරත් යට උනා...දවස් ගානක් එකදිගටම වැස්සා...වැස්ස නැවතුනාට පස්සේ ලාල් ගෙනාවා සුබ ආරංචියක්...මචෝ...කන්දේ රටමාළු ඇතිකරන ගෙදර ලොකු ටැංකියක් කැඩිලා...රටමාළු ඇලේ ඉන්නවා...වහාම කම්බි රවුමකට රෙදි කෑල්ලක් ගැට ගහගෙන අතංගුවක් හදාගෙන...ලාලත් එක්ක බැස්සා ඇලට...ඒ වෙනකොටත් බාබර් ගෙදර කෙල්ලෝ (උන් කොල්ලන්ට හපන්) ගේමට බැහැලා...අපි උන්එක්ක රංඩු වෙවී මාළු ඇල්ලීමේ තරඟ ඉසව්වට බැස්සා...මට අහුඋනා සාරිගප්පියෙකුයි (නැට්ට සාරියක් වගේ දිගයි)  තද තැඹිලිපාට පුංචි ප්ලේටි පැටව් දෙන්නෙකුයි...ලාලත් ගප්පි දෙතුන් දෙනෙක් අල්ල ගත්තා...බාබර් ගෙදර කෙල්ලෝ ගෝල්ඩ් ෆිෂ් එකෙකුත් ඇල්ලුවා. ඉතිං රටක් රාජ්ජයක් දිනුවා වගේ තමයි...
                                             පසුකාලෙක මෙයිට වැඩිය ලොකු සිමෙන්ති ටැංකි මම හැදුවා...තද නිල්පාට ෆයිටර්ලා, රතු සුදු ගෝල්ඩ් ෆිෂ්ලා, රතු සහ කොළ පාට ස්වෝර්ඩ් ටේල්(අපි කිව්වෙ ෂෝට්ටේල් කියල), ඒන්ජල් මාළු මං ඇතිකළා... ෆයිටර් පිරිමි සත්තු දෙන්නෙක් ටැංකියට දැම්මොත් සිංහල එවුන් දෙන්නෙක්... ගල් බෝතලයක් දීල කාමරේකට දැම්ම වගේම තමයි...උන් මැරෙනකන්ම කොටාගන්නවා...උදේට අව්ව වැටුනම හයිඩ්‍රිරිල්ලා පැළවලින් වායු බුබුළු හැදෙන හැටි (පස්සෙ දැනගත්තෙ ඒ හැදෙන්නෙ ඔක්සිජන් කියල)...ඒවා ටික ටික ලොකුවෙලා කොලෙන් ගැලවිලා උඩට එන හැටි...පොල් කටුවල හිටපු මදුරු පණුවෝ, ගැඩවිලි පැටව් ගෙනැත් දැම්මම මාළු පොරකකා උන් කන හැටි...පුංචි ගොළුබෙල්ලෝ වීදුරුවේ බඩගාන හැටි...ගප්පි පැටව් දාන හැටි...ඒන්ජල්ලා බිත්තර පැලවල එල්ලන හැටි...කට ඇතුලේ තියාගෙන පැටව් ආරක්ෂා කරන හැටි නරඹන එකේ ත්‍රිල...නැෂනල් ජියෝග්‍රැෆි බලල ගන්න බෑ සර්...ඒ දවස් වල මං ජීවත් උනේ මේ පුංචි මාළු ටැංකිය තුල මැවුණු ලෝකයේ. අපේ දෙමව්පියෝ අපිට මාළු ටැංකි අරන් දුන්නෙ නෑ පුතේ.  

              ළඟදී අම්බලංගොඩ පහුකරන් යද්දී නැවතිලා ඇලට එබිලා  බැලුව...අපි මාළු අල්ලපු ඇළ දිහා...ඒක ළඟ දැන් තියෙන්නේ වාහණ සර්විස් කරන තැනක්...වතුරේ ඝනකම කළුතෙල් තට්ටුවක් පාවෙනවා...ඇයි නැවැත්තුවේ ශාමා ඇහුවා...මං මොනවත් කිව්වේ නෑ...ඇළ මැරිලා. මගේ හිත ඇතුලෙ ඒ රට මාළු ඇතිකරපු පුංචි එකා...අදටත් ජීවත් වෙනවා.      

32 comments:

  1. එම් ඕ එච් එක ලඟ හිටිය හින්දා අපි මාලුන්ට දුන්නෙ ත්‍රිපෝෂ. ගෝල්ස් ෆිෂ්ලා බලන් ඉන්දැද්දි ලොකු වෙනවා. මාලු ගත්තෙ බැරැක්කෙ මාලු ගෙදරින්. කාලයක් මූදු මාලු අල්ලල මිරිදියට පුරුදු කරන්නත් පුලුවන් උනා. ලාල් කිව්වෙ ලාල් ලිවේරද ලාල් පෙරේරාද? ලාල් පෙරේරාගෙ මල්ලිලා සුගත් සහ ජනිත් මගේ මාලු ඇති කිරිමේ සඟයන්.
    අම්බලන්ගොඩ ඔක්කොම ඇලවල් මැරිලා. මුහුද විතරයි මැරෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  2. බැරක්කෙන් තමයි...ගෝල්ඩ්ෆිෂ්,ඒන්ජල්,ෆයිටර්,ස්වෝඩ්ටේල් වගේ මාළු ගත්තෙ. මේ කියන ලාල් ඉස්කෝලෙ ගියේ නෑ...පහු කාලෙක කුලී වැඩ කළා.

    ReplyDelete
  3. // වැල්ලෙන් ගෙනාපු ගල්මල් කෑල්ලකුත්... //

    most probable cause of your nalahandaya's death. Changes the pH of the soft water drastically and the so many unwanted minerals dissolve in to the fresh water.

    ReplyDelete
  4. මම ඒ කාලෙ කැමතිම සීබ්රාස් සහ ගොගලයිස්...:)

    ReplyDelete
  5. අ‍පි පොඩි කාලෙත් පල්ලෙහ ගඟේ තමයි මාලු ඇල්ලුවෙ. ඒත් උං ටැංකිවල දැම්මෙ නෑ. බෝතල් වල දාල තියාගෙන ඉඳල ආයෙ ගඟට දානව.
    මේ මෑත කාලෙකදි අපේ කොල්ලට ඕනි වෙලා මම මාළු ටැංකියක් හදල කඩෙන් මාළු ගෙනත් දැම්ම. මුලදි මුලදිනං වෙලාවට ටැංකිය සර්විස් උනාට දැන්නං තත්වෙ ‍ටිකක් විතර ශෝචනීයයි.

    අර අන්තිම කතාවටනං හිත හෙල්ලිලා ගියා.

    ReplyDelete
  6. ඇළ මැරිලා///// sad

    ReplyDelete
  7. Man gaawa innawa jam gourami ekek, podi 4k, calf 19, catfish 1, tank cleaner 1 and hundreds of mollies! Omg!




    ( sorry for the language. )

    ReplyDelete
  8. ඔය මාලු පිස්සුවත් ඒ කාලේ හොදට ම හැදිලා තිබුණා...... එක එක පිස්සු තියෙනවානේ.... නේද????

    ReplyDelete
  9. //ඇළ මැරිලා// ඕක තමයි දුක. මගේ කෙටි ජීවිත කාලේ ඇතුලත මම දැකලා තියෙනවා ඇලවල් බොහොමයක් මැරිලා යනවා.
    ඔය පොඩි පොඩි ඇලවල් වලට පණ තිබුනා. කුඩා නමුත් ජීවත් වෙන ජෛව පද්ධති.

    ReplyDelete
  10. අපේ දෙමව්පියෝත් අපිට මාළු ටැංකි අරන් දුන්නෙ නෑ නැ මාමේ. මාළු ඇරං දුන්නෙත් නැ එක එක ජල්තරස් තමයි

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ ඇලේ, කබරු,තලගොයි,ඉබ්බෝ, දිය නයි දිය කූඩැල්ලෝ හිටියා. ඇළ අයින දිගේ දොඹ, කදුරු, දිවි කදුරු,ලුණුමිදෙල්ල ගස් තිබුනා දැන් ඒ මොනවත් නෑ !

      Delete
  12. දැනටත් උග්‍ර විදිහටම තියන ලෙඩක් මට ඔය මාළු ලෙඩේ... ගෙදර ටැංකි දෙකක් හදාගෙන කාප්, කැට් විශ්, එන්ජල්, ගප්පි, ප්ලේටි, මොලී ආදී එකී නොකී මෙකි සනුහරේම දාගෙන නිවාඩු තියෙන දවසටත් ඔව්වගේ බැහැගෙන ඔට්ටු වෙන එක තමයි තියෙන ලොකුම ජොබ් එක!

    හොඳ වෙන්නේ නැති අපූරු පිස්සුවක් !

    ReplyDelete
  13. මේ හොඳ වෙන්නේ නැති අපූරු පිස්සුව...කම්මැළිකම නිසා දැන් හොඳවෙලා...මාළුටික මැරුණා...ටැංකිය හිස් !

    ReplyDelete
  14. පොඩ්ඩගේ නම විකුණල මම හදපු ටැංකියේ ඉරණමත් අතිශෝචනීය වේගන ආවා, ඇණ මීටරේ දාලා සෙටින්ග්ස් තරමක් නැචූරල් කරා, ලීටර් 100 විතර ලොකු ප්ලාස්ටික් බේසමක් මිදුලේ වලලල මාළු සහ පැලෑටි ටික දැම්මා, නෝ මෙන්ටෙනස් කරදර මාළු ස්වාභාවිකව ඉන්නවා, බෝ වෙනවා, මැරෙනවා.

    ReplyDelete
  15. මාත් ගේ ඇතුලේ ලස්සන ටැකියක මාළු හැදුවා.අඩියට සෘජුෆෝම් එකක් තියලා ටැංකිය ඒක උඩින් තියන්නේ නැතුව දවසක් මාළු සාලේ පීනන්න ගත්තා අඩිය පුපුරලා.පස්සේ බේසමකට දාලා තියලා යාළුවෙක්ගෙන් මාළු හදන්නම හදපු ලොකු මල් පෝච්චියක් ගෙන්ල්ලා දාලා තිබ්බා.වතුර සුමානෙන් කොළ පාට උනාට මොකද මාළු ටික සයිස් උනා බලන් ඉන්නකොට.

    ReplyDelete
  16. කවුරුත් බෑ කියද්දි මමත් හැදුවා අඩි හයක් දිග මාළු ටැංකියක් තනිකරම විදුරු වලින්. එකේ කාෆ්, කැට්විෂ්, ඔස්කා, ගොල්ඩ් ෆිෂ්, පාකු කාලෙන් කාලෙට පිරිලා හිටියා එත් දැන් රස්සාව එක්ක ඒවා කරන්න වෙලාවක් නෑ. තාත්තා බැරි බැරි ගාතේ ටැංකිය බලා ගන්නවා. දැන් ඉන්නේ ගප්පි තමයි. නැත්නම් මදුරුවෝ බෝ කලා කියලා නඩු දානවානේ. මගේ මාළු ඇති කිරිමේ අතිතයට ගෙන ගියාට බොහෝම ස්තූතියි.
    දෙස්තර මහත්තයා ඝාන්ටාරේ තෙමාගන්නකොට මාළු කොටුවේ නැතැයි?හැබැයි දැන් තියෙන ජරා ඇලට බැස්සානම් දොස්තර මහත්තයාගේ ඝාන්ටරේ දවස් දෙකෙන් බිම තමයි.

    ReplyDelete
    Replies
    1. කකුලේ තුවාල වලට නම් මාළු කෙටුවා මතකයි !

      Delete
  17. මමත් ජීවිතේටම එක පාරක් ප්ලේටි ටිකක් පරණ බෝතලේකට දාල ඇති කරන්න බැලුව. දවස් දෙකක් යද්දී උන් ටික ඔක්කොම මලා. ඊට පස්සේ මාළු ඇති කරන වැඩේ එහෙමම අතෑරලා දැම්ම..

    ReplyDelete
  18. ඉස්සර අපේ පැත්තේ කාණුවලත් සාරි ගප්පි වැහි වැහලා. දැන් ඒවයේ ඉන්නේ ඩෙංගූ කීටයෝ. අපරාදේ කියන්නේ මර්වින් සිල්වා කැළණියේ කුණු කානු ඔක්කෝම සුද්ද බුද්ද කරලා හොඳ මාර්ග පද්දතියක් හැදුවා. අඩි පාර පවා නියමෙටම හැදුවා. අද ඒවා ජරා වෙලා. මතකනේ අර ඩේංගු මර්දනේ මගඇරිය එකා ගස් බැන්ද සීන් එක. එහෙම තමයි කරන්න ඕන. ඌ මුල ඉඳන්ම මේවට විරුද්ධ එකෙක්. ඒකයි එකෙක්වත් ඉදිරිපත් වෙලා නැත්තේ ඌ බේරන්න.

    කාණූ ගානේ කරක් ගහනවා කියලා, පස්සෙ මාලු ගෙනත් දුන්නේ ජාතික පොලෙන්. දැන් එතන තර්ස්ටන් එකේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක. ඊට පස්සෙ ඒක නාරහෙන්පිට ගෙනිච්චා. මමත් මාළු ඇතිකරලා විකිණුවා. කාෆ් මාළු එහෙම හොඳ ගානකට දෙන්න පුළුවන්. ආයෙත් චැන්ස් එකක් හම්බ උනොත් මේ වැඩේ කොරන්න ඉන්නේ. මාළු ටැංකියක් නිතරම පේන්න තියෙන එකත් හිත සන්සුන් කරන දෙයක් නේ. දැන් නම් ෂෝ එකටත් කරනවා. ඒ කියන්නේ මාළුවගේ ගාන කියන්න. හැබයි ඒක හොඳ කල්ට් එකක්.

    ReplyDelete
  19. //ඇළ මැරිලා//
    අපේ කාලෙ ඇලවල් මැරෙන්න පන අදින කාලෙ. ඉතින් ඔච්චර සෙල්ලම් දාන්න උනේ නෑ

    ReplyDelete
  20. මාලු පිස්සුව තිබුනෙ ටැංකියෙ දාල මිරිදිය මාලු හදන්න තමයි. ගෝල්ඩ්ෆිෂ්ලාට නං එහෙමකට ආසාවක් තිබුනෙ නෑ. මාලු ගෙනල්ල ලිඳ‍ට දාල තමයි අපි මාලු හැදුවෙ

    ReplyDelete
  21. මාලු පිස්සුව අඩු වැඩි වශයෙන් දැනටත් තියෙනවා

    ReplyDelete
  22. බුලත් හපයෙක් දැක්කා හෙන කාලෙකට පස්සේ බදුරලියේ ලොකුපුතාගේ ඇලේ පාටිය වෙලාවෙ..උනුත් මරු ඒ දවස්වල ටැංකි වලට....!

    ReplyDelete
    Replies
    1. අපි උන්ට කිව්වෙ...කට රත්තො කියල !

      Delete
  23. අපේ ඉස්කෝලෙ මැදිං ගියා ටවුන් එකේ ජරාව යන 'බූ ඇල'.කොල්ලො ඕකට බැහැල සාරි ගප්පි අල්ලන එකම තමයි වැඩේ.ලස්සන ලස්සන උන් හිටියා.
    දැන් හැම පළාතෙම වගේ ඇලවල් මරාගෙන මරාගෙන යනවා සර්විස් ස්ටේශන් කාරයො.ඔව්වට පර්මිට් දෙන උන් බලන්නැද්ද දන්නෑ මේ හෙණ ගහන වැඩේ දිහා.
    ජයවේවා..!!

    ReplyDelete
  24. 'සාරි ගප්පි' තව ටිකක්කල් යනකොට මාළු ටැංකිවල විතරයි ඉතුරුවෙන්නේ. දැන් ඉන්නේ 'ජීන්ස් ගප්පි'හ්ම්....

    අපි පුංචි කාලේ ඔය වැඩේ කල කෑගල්ලේ සුන්දර ඇල පාරවල් වියලී ගිහින්. මහා කුඹුරු යායවල් දේශපාලන බලයෙන් ගොඩකරලා ව්‍යාපාරික ගොඩනැගිලි හදලා.

    ReplyDelete
  25. මමත් පොඩි කාලේ මේ කර්මාන්තේ කලා. තව ටිකක් ලොකු ටැංකියක් හදලා ඒකට තමයි මගුරො, ලුල්ලු දැම්මේ. හැබැයි ටැංකිය පදම් කලේ කොහුබත්, පොල් ලෙලි දාලා.

    ReplyDelete
  26. අපේ ගෙට පහලින් කුඹුරු අයිනෙන් ගලන පුංචි ඇලේ ඒ කාලෙ සාරි ගප්පි පිරිලා..දිය බරියන්ගෙනුත් අඩුවක් තිබ්බෙ නෑ. බාබර් ගෙදර කෙල්ලො වගේ මාත් අපෙ අය්යයි මල්ලියි එක්ක සාරි ගප්පි අල්ලනව..බෝතල් වලට...ඇල තාමත් තියෙනවා..ඒ ගප්පියොත් නෑ..පුංචි උනුත් නෑ..

    ReplyDelete