Tuesday, 18 October 2016

JVP/දේශප්‍රේමීන්...(1වෙනි කොටස)


                                  
මා බදුරලිය රෝහලේ පළමු ලියාපදිංචි වෛද්‍යවරයා වූයෙමි. 1987දී මා එහි සේවයට පැමිණෙන විට එහි තිබුනේ කුඩා ඩිස්පැන්සරියක් පමණකි. කුඩා වාට්ටුවක් අලුතින් තනා තිබුනද...නිලනිවාසයක්, ඇම්බියුලන්ස්එකක් හෝ  මෝචරියක් නොතිබුන බැවින්...වාට්ටුව නේවාසික රෝගීන් සඳහා විවෘත කිරීම මට කලින් සිටි වෛද්‍යවරු අකමැතිවූහ. මම එහි පැමිණ සති දෙකකින් වාට්ටුව නේවාසික රෝගීන් සඳහා විවෘතකර... ඩිස්පැන්සරිය කුඩා රෝහලක් බවට පත් කලෙමි. රෝහලේ කාමරයක් මගේ නිළනිවාසය ලෙස පාවිච්චි කලෙමි. රෝගීන්ගේ වැසිකිලිය මගේද වැසිකිලිය විය (ඉස්සර ගේමක් නැතුව ඇණ තියාගෙන ඉන්න පුළුවන්) මගේ මෝටර්රථය අතින් කයිට් ඇම්බියුලන්ස් එක වූ අතර ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් ලෙස සරත් විමලසුරියම පත්කර ගත්තෙමි. අතිවිශාල ප්‍රදේශයක් මෙම රෝහල මගින් ආවරණය වන බැවින් රෝගීන් වැල නොකැඩී එන්නට පටන්ගත්හ. ඇඳන් විස්ස වහාම පිරී ගියේය. අතිරේක රෝගීන් කොරිඩෝවේ පැදුරු මතට අකමැත්තෙන් වුවද දැමීමට සිදුවිය. ඇටෙන්ඩන්ට්ලා මිස නර්ස්ලා නැත. ඉන්ජෙක්ෂන්, සේලයින් ? ඒව දෙන්නෙත් මං ම තමයි...ළදරු සායන,මාතෘ සායන පැවැත්වීම, පාසැල් සෞක්‍ය පරීක්ෂණ, බෙහෙත් ගබඩා පාළනය, ලිපිකරු කටයුතු කිරීම, ෆෑන්, ස්ටේරිලයිසර්, ටියුබ්ලයිට්,  වතුරමෝටර් රෙපයාර් කිරීම...ඔක්කොටම එකයි...වන් මෑන් ආමි !.  අසාධ්‍ය තත්වයේ රෝගීන් සතියකට දෙතුන්වරක් මා කලින් සේවයකල, ආසන්න දිස්ත්‍රික් රෝහලවූ පිඹුර රෝහලට මෝටර්රථයෙන් ප්‍රවාහණය කිරීම මාවිසින් නොමිලේ සිදුකරණ ලදී.
                                                  ඒ දිනවල මෙවැනි රෝහල් වල සේවයකල දොස්තරලාට OT, ඔන්කෝල් දීමනා, ඩියුටිෆ්‍රී කාර්, ප්‍රවාහන දීමනා මොන මගුලක් වත් නැත. පැය 24ම තනියම වැඩකල යුතුය. ජ්‍යාත්‍යන්තර කම්කරු නීතිය අනුව OT ගෙවමින් හෝ මනුෂ්‍යකු පැය 24ම සේවයේ යෙදවීම බරපතල අපරාධයකි. සවුත්තු දෙපාර්තමේන්තුවට ඒගැන වගේ වගක්නැත. නිවාඩු ගැනීමට වෙනත් රෝහලකින් වෛද්‍යවරයෙක් කලින් දන්වා බොහෝ කණිපින්දම් කියා...ගෙන්වා ගතයුතුවිය. අම්මා මළත් හදිසි නිවාඩු නැත... දුරකථන පහසුකම් නැත...දුරකථන ඇමතුමක් උප තැපැල් කාර්යාලයෙන් හෝ පොලීසියෙන් ගැනීමට ගියවිට කම්බි කැඩී ඩයල්ටෝන් නැත. නියම සනීපදායක රැකියාවකි. නමුත් මේ ගමේ බහුතර වැසියෝ ඉතාම ගුණයහපත් පුද්ගලයන්වූ නිසා...මම මගේ සේවය උපරිමයෙන් කලෙමි. පළාතේ මන්ත්‍රී තුමාවූ මෙරිල් කාරියවසම් මහතා දවසක් දවසක් රෝහල බැලීමට පැමිණියේය. ඩොක්ට මට කියන්නෙත් නැතුව වාට්ටුව ඕපන් කරලනේ...මාජීවත්වන වැසිකිලියක් නැති, තනිකාමරය දැක ඔහු අවංකවම කණගාටුවිය...මම මාස හතරක් ඇතුලත මං ඩොක්ටර්ට ක්වාටස් එකක් හදල දෙනවා...කියූ ආකාරයටම ඔහු පොරොන්දුව ඉටුකළේය. ඉතා හොඳ වර්ගයේ ඉඩකඩ ඇති නව නිල නිවසක් මට ලැබුණු අතර...එහි පදිංචි වන දිනයේ පාටියට ඔහුටද ආරාධනා කලෙමි.
                                                              මේ සුන්දර ගමේ සාමකාමී පරිසරය නැති කරමින් JVP/දේශප්‍රේමී සර්පයාගේ  භීෂණය ක්‍රමයෙන් හිස ඔසවන්නට විය...පළමු සිදුවීම වශයෙන්, ප්‍රදේශයේ වගා නිලධාරියා...රෝහල ඉදිරිපිට ඇතිබස් ස්ටෑන්ඩ් එකේදී...ඉරිදාපොළ දවසේ...ගල් කටස් තුවක්කුවකින්...මහදවල්...ප්‍රසිද්ධියේ වෙඩිතබා මරණ ලදී...මුළු ගමටම JVP/දේශප්‍රේමීන්ගේ...භීෂණයේ පණිවිඩය සාර්ථක ලෙස ලබා දෙන ලදී...එදිනම රෑ JVP ඇඳිරිනීතිය පනවන ලදී...රාත්‍රියේදී අටවන විට එක්වරම විදුලිය විසන්ධිවී JVP ඇඳිරිනීතිය අංග සම්පූර්ණ විය...පාරට...චේන්සෝ මගින් දැවැන්ත ගස්කපා දමා ගම බාහිර ලෝකයෙන් වෙන් කෙරුණි. ලංගම බස් ගිනිතබන බැවින් ගමනාගමණය අඩාලවිය. ප්‍රදේශයේ සියළුම වතු අධිකාරීන් සහ ගොවියන්සතු තුවක්කු...JVP/දේශප්‍රේමීන් විසින් කොල්ලකන ලදී. කලින් මීහරක් බලමින් සිටි...ගමේ අඩුකුලේ කොල්ලෝ...තුවක්කු වලින් සන්නද්ධව...පැහැරගත් මෝටර්සයිකල් වල නැගී මහදවල් වැඩ පෙන්නන්නට වූහ...දෙවැන්නා ලෙස බදුරලියේ සමූපකාර මැනේජර් මහතා සමූපකාරය ඇතුලේ රාජකාරි වෙලාවේදීම...ගල් කටස් තුවක්කුවකින් වෙඩිතබා මරණ ලදී. දිගින් දිගටම ගස්කපා දමමින් JVP ඇඳිරිනීතිය පැනවීම සිදුවුනු අතර...පොලීසිය සහ හමුදාව...ගමේ මිනිසුන්ගේ ඔළුවට T56 තබා පාර ක්ලියර් කිරීමද සිදුකරණ ලදී. පාසැලේ ඇලවූ JVP/දේශප්‍රේමීන්ගේ...සටන්පාඨ පෝස්ටර් ගලවා...බිත්තිවල ලියා තිබූ .සටන්පාඨ මැකීමේ වරදට...අසල ගමක කුඩා පාසැලක විදුහල්පති වරයකු ඝාතනය කරන ලදී...රාත්‍රී නිවසට පැමිණ පොල්ලකින් පහර දෙමින් අඩපණකර ...පණපිටින් සිටියදීම මිරිස් ගල මත තබා මන්නයකින් හිස කපා වෙන්කර...පාර අසල රිටක අමුණා ඝාතකයෝ පලා ගියහ.
                                             1989 පෙබරවාරි 3 වෙනිදා මාවිසින් පසුදින නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය රෝහලේ  ඔසවනලදී... එදිනම රෑ සන්නද්ධව රෝහලට පැමිණි JVP/දේශප්‍රේමීන් විසින් ජාතික කොඩිය ගලවා...විශාල කළුකොඩියක් දමන ලදී. මා මෙය දුටුවේ වාටුවට යද්දීය. භීෂණය කොතරම්ද යත් කිසිදු සේවකයකු මේ ගැන මට වාර්තා කලේ නැත. මේ කළු කොඩිය ගැලවීම ඉල්ලං බෙල්ල කප්පවා ගැනීමකි. මම එය නොදුටුවාසේ වාට්ටු පරීක්ෂාව කරමින් සිටියෙමි...එක්වරම  බදුරලිය රෝහලේ මිදුලේ පොලිස් ජීප් රථයක් නැවත්විය...එයින් බැසආ OIC (එස් අයි)...ඩොක්ටර්ට විරුද්ධව පැමිණිල්ලක් ආවා...ඉස්පිරිතාලේ කළුකොඩි දාල කියල...මට මේගැන ඉහලට වාර්තා කරන්න සිද්ධ වෙනව...ඉතිං කරන්න !...මං දැම්මෙ සිංහ කොඩිය...JVP එකෙන් තමයි ඒක ගලවගෙන කළුකොඩියක් දැම්මේ... ඩොක්ටර් කරුණාකරල මේක අයින් කරන්න මේක රජයේ ආයතනයක්...මං ඒක දන්නව...මම OIC තුමා මගේ ඔෆිස් කාමරයට කැඳවා ගත්තෙමි...මේක ගලවන්න මං...මගේ සේවකයො දෙන්නෙනෑ...ඔයා PC කෙනෙක්ට කියල ගලවන්න...ඔයාගෙ පොලීසිය ඇතුලෙත් JVP කාරයෝ ඉන්න පුළුවන්...ඒනිසා මං මතුගම ASP හම්බ වෙලා පැමිණිල්ලක් අද දානවා... සිංහ කොඩිය ඉන්වෙන්ටරියේ තියෙන රජයේ දේපලක්... OIC තුමා කොහෙන්දෝ ගෙනා ඉණිමගක් තබා...PC කෙනෙක්ලවා කලුකොඩිය ගලවාගෙන...ජීප්එකේ සැරදමමින්   යන්නට ගියේය....

මතු සම්බන්ධයි                    

25 comments:

  1. ඹය කතා ගොඩදෙනෙක්ට අමතකයි දැන්.

    ReplyDelete
  2. අකුරු පොඩියට පේන්නෙ මට විතරද?

    ReplyDelete
    Replies
    1. දිගටම ලියමු අපි දන්නෙ නැති කාලෙ කතා........
      ස්තුතියි බෙදාගන්නවට.

      Delete
  3. උඩහරියේ දිනය වැරදි ලා නේද

    ReplyDelete
  4. විප්ලවයට කෙටි මාවත.....

    කෝ මෙ බ්ලොග් ලියනා ජෙප්පෝ සැට් එක?

    ReplyDelete
  5. 1997 කියන වසර වැරදි බව මගේ අදහසයි...
    1997 දී හොස්පිටිතාලේ හොඳට තිබ්බනේ, ඔය 1987 දී වෙන්න ඇති...

    ReplyDelete
  6. ///අසල ගමක කුඩා පාසැලක විදුහල්පති වරයකු ඝාතනය කරන ලදී...රාත්‍රී නිවසට පැමිණ පොල්ලකින් පහර දෙමින් අඩපණකර ...පණපිටින් සිටියදීම මිරිස් ගල මත තබා මන්නයකින් හිස කපා වෙන්කර...පාර අසල රිටක අමුණා ඝාතකයෝ පලා ගියහ.///

    මගේ ලොකු තාත්තෙක්...

    ReplyDelete
    Replies
    1. නරෝද්නික්වාදය - විප්ලවය සඳහා පුද්ගලික මිනිසුන් ඝාතනය කිරීම

      Delete
  7. ප්‍රජාතන්දවාදය රන් හා වටී.. අර විමලසුරිය ඩ්‍රැයිවර් උන්නැහේට වෙච්චි සංහදි බලන්න අනිත් කොටස් ටික දානවා නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් මහත්තයෝ...මං මේව මැරෙන්න කලින් ලියල තියන්න ඕනේ !

      Delete
  8. පැය 24 ප්‍රෙද්ශීය රෝහල් වල රාජකාරි කළ දොස්තර මහත්වරුන්ට දුෂ්කර දීමනා,ඕටී සහ නිවාඩු හදාගන්න සම්මත ක්‍රමයක් තිබුනානේ; කිරිටොය්ය නෝන කෙනෙත් කරකාර බැඳගෙන එයාට ක්වාර්ටස් එකේ ඩිස්පැන්සරියක් දාල දෙනවා, එයා තමයි අවේලාවේ එන ලෙඩ්ඩුන්ට සේවය සපයන්නේ. ඔබ එම සම්මතයට එරෙහිව ගියා නම් රජය මක්කා කරන්න ද?

    ReplyDelete
    Replies
    1. හා හා එහෙමත් සම්මතයක් තිබ්බද?

      Delete
  9. ඔබ විසින් සිදුකර ඇති සේවාව පිළිබඳව සතුටු වෙමි. එවැනි භීෂණ තත්වයක් යටතේ සේවය කර තවදුරටත් ජීවත්ව සිටීම පිළිබඳව අතිශය සතුටු වෙමි.

    ReplyDelete
  10. දිගටම යමු. කාටත් අමතක එ අතීතය යලි මතක් කිරීම ගැන මාගේ සතුට

    ReplyDelete
  11. මුලා වෙච්චි (කෙරිච්චි) හයක් හතරක් නොදන්න උන් ටිකක් කරපු විකාර තොගයක්!

    ReplyDelete
  12. රෙද්දෙ විප්ලවේ.. උන් මැරුවෙත් ලේසී ටාගට්. ඒ අතින් ප්‍රභා ග්‍රේට්....

    ReplyDelete
    Replies
    1. ඔව් මචං... ඔක්කොම ලේසි වැඩකට නැති ටාගට්...හරි ඒවට ගියානං මාත් උන් එක්ක

      Delete
  13. ඔය පැත්තේ රෝහලක RMP කෙනෙකු ගේ කතාවක් විජිත ගුණරත්න ගේ පෙරම්බුරා චිත්‍රපටයේ තිබුණා

    ReplyDelete
    Replies
    1. //සවුත්තු දෙපාර්තමේන්තුවට ඒගැන වගේ වගක්නැත//

      Delete
  14. ඔබේ සේවයට ආචාරය. හමුදාවෙත් යුද්ධෙදි ලියාපදින්චි වෛද්‍යවරු විශාල සේවයක් කලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔව් ලොකු සේවයක් කලා !

      Delete
  15. කොටස් වශයෙන් යන පෝස්ට් ලින්ක් කොරමුද?
    ජයවේවා..!!

    ReplyDelete
  16. මේ ටික කියෙව්වම් පොඩ්ඩක් හිතට අප්සෙට් ගියා./. කලින් මීහරක් බලමින් සිටි...ගමේ අඩුකුලේ කොල්ලෝ...තුවක්කු වලින් සන්නද්ධව...පැහැරගත් මෝටර්සයිකල් වල නැගී මහදවල් වැඩ පෙන්නන්නට වූහ..// ටිකක් පහත කරල කතා කිරිල්ලක් නෙමේද? මේ සීන් එකමනේ යාපනේ උනෙත්. දෙමළ අඩු කුලේ මිනිස්සු , කුල පිඩනයට විරුද්ධව නැගිට්ට. ලොකු කුලේ අය ඒක සාර්ථකව ආණ්ඩුව දෙසට හැරෙව්ව.

    ReplyDelete