Monday, 10 October 2016

ද්වි නාමධාරී ගුරුවරු


                                        අපේ කාලයේ ධර්මාශෝකේ ඉගෙන ගත් කොල්ලෝ ගුරුවරුන්ට නම් පටබැදීමේ කෙළපැමිණියෝ වූහ. කොල්ලන්ට දිරවන්නේ නැති ගුරුවරුන්ට නොයෙකුත් තාලයේ විහිළු නම් පට බැඳී තිබුණි. මෙවැනි ගුරුවරයෙක් දිනපතාම පන්ති කාමරයේදී බෙහෙත් පෙත්තක්බී ඊයම් කොලය කුණුකූඩෙට දැමීම සිරිතක් විය. කොල්ලෝ දවසක් මේ ඊයම් කොලය ආපසු ගෙන මේ බෙහෙත...මොන ලෙඩේට බොන බෙහෙතක්දැයි සෙවීමට උත්සුකවූහ. වැඩේ බාර දුන්නේ පාමසිකාරයාගේ පුතාටය. ඌ පසුදිනම උත්තරේ සොයාගෙන  ආවේය...මචං ඕක දියවැඩියාවට බොන එකක්...එදිනසිට...පාන් කාලක් කන්නට ඇඟේ මස් නැති...ඉතා කෙට්ටු ශරීරයක් ඇති...නිතර ටොයිලට් එකට දුවන...මේ ගුරුවරයාට “සීනි මාමා” යන ගරු නම්බු නාමය ලැබුණි !.
               අසාමාන්‍ය ලෙස අඩි හයක් පමණ උස ගුරු වරියක් ඒ දිනවල ධර්මාශෝකයේ ඉගැන් වීය. අපේ පන්තියට ඉගැන්නුවේ නැති නිසා මොනවා ඉගැන්නුවාදැයි මට මතක නැත ඇය හඳුන්වන ලද්දේ “දික්තලා” යන නමිනි. ටික දිනකින් අඩි හතරයි අඟල් අටක් පමණ උස ඉතාම මිටි ගුරුවරයෙක් පත්වීම් ලැබ පාසලට පැමිණියේය...දිනදෙක තුනකින්ම ඔහු “කාලගෝල” නම් විය. ඉංග්‍රීසි යෙන් අපි ඔහු “කාර්ල් ගෝල්ඩ්” ලෙස හැඳින්වීමු. මේ දෙදෙනාට කොල්ලන් හදා තිබූ කෙටි විහිළු කතාවක් මෙසේය. දිනක් මේ දෙදෙනා කොරිඩෝවකදී මුණ ගැසී ඇත. දික්තලා... ඔළුව පහතට නමා...කාර්ල් ගෝල්ඩ් දෙස බලා...අනේ පව් අඩි හතරයි කියා ඇත... කාර්ල් ගෝල්ඩ් නිකට ඔසවා උඩබලා... අනේ පව්...අඩි හයයි කියා ඇත !.
                                               උඩ තට්ටුවේ සිට කෑගසමින්...පහත ගමන් කරන ගුරුවරුන්ගේ විහිළු නම් කියා ඔවුන් කුපිත කර වීම...කොල්ලෝ දිනපතාම කළහ. කෑගැසූ එකා සොයාගැනීමට නොහැකිවූ විට මුළු පන්තියටම පිනාගෙන් වේවැල් පාර ලැබුණි. අධ්‍යාපන චාරිකාවකදී එක් ගුරුවරයෙකුට අතරමගදී වැසිකිලි යෑමේ අවශ්‍යතාවක් ඇතිවී තිබුණි. මෙය සිදුවී ඇත්තේ කැළෑ බද පාරකදීය. ඔහු වතුර බෝතලයකුත් රැගෙන කැලයට ගොස් වැඩේ කරගෙන ආපසු පැමිණ තිබුණි. පසු දින සිට ඔහු “බොගා” ලෙස නම්කරන ලදී. මුලදී “බොගා” කියා කොල්ලෝ කෑගැසූ විට ඔහු කුපිත විය. දිනක් මේ ගැන ඔහු පිනාට පැමිණිලි කළේය. පිනා අපේ පන්තියට වේවැලත් රැගෙන පැමිණ...බලනවකෝ...  තමුසෙලා  අදත් අර සර්ට “ගොබා” කියලනේ කිවූවිට... පන්තිය සිනාසාගරයක ගිලී ගියේය.
                              බෲස්ලී ගේ චිත්‍රපටි බලා ධර්මාශෝකේ කොල්ලන්ට කරාටේඋණ තදින්ම වැළඳී සිටි සමයක...නව පත්වීමක් ලැබ පැමිණි ගුරුවරයකු කරාටේ ඉගැන්වීමට පටන් ගත්තේය. කොල්ලෝ “එන්ටර් ද ඩ්‍රැගන්” බලා මොරාල් අප්වී...හෝල් එකෙන් එලියට පැමිණියේ ශාලාවේ පුටුවලටද පයින් ගසමිනි.  කරාටේ ඉගෙන ගන්නට මුලින් බොහෝදෙනෙක් පැමිණියත්...සතිදෙකෙන් ගහගන්නට ඉගැන්නුවේ නැති නිසා...බොහෝ දෙනෙක් පසුව හැලී ගියෝය. හිතාගෙන හිටියේ සුමාන දෙකෙන් කරාටි ඉගෙනගෙන...සතුරාගේ ඇට මුංඇට වෙනතුරු නෙලන්නටය. අමුතු තාලේ සංගීත ගුරුවරයෙකුද මේ කාලයේ අප පාසැලේ සිටියේය...මේ ගුත්තිලගේ සංගීත කාමරයට ඇතුල්වීමේදී සපත්තු ගලවා පැදුරුමත වාඩිවීම අනිවාර්ය විය. ලොකු තේකොළ පෙට්ටියකට කොහු මිටක් සවිකර...කොහු මිටේ සිට තේකොළ පෙට්ටියේ මැදට නූලක් ඇද අමුතු සංගීත භාණ්ඩයක් ඔහු නිපදවා තිබුණි. නූල ගස්සන විට “භූම්” යන නාදයක් එයින් නිකුත්විය. නදීර නමැති මූසිලයා මේ නූල කපා සංගීතයාගෙන් හොඳහැටි ගුටිකෑවේය.
                     දිනපතාම සංගීතයා...කරාටේ කාරයා මුණ ගැසුනවිට ආ කොහොමද “ප්‍රෙස්ලී” කියා කියනවාලු...කරාටේ කාරයාට මේක හරිම ප්‍රශ්නයක්ලු...මොකදබං...උඹ මට හැමදාම “ප්‍රෙස්ලී” කියන්නේ කියලා කරාටියා සංගීතයා ගෙන් අසා ඇත...සංගීතයා අතපය වීසි කරමින්...ඇයි උඹ දන්නේ නැද්ද එන්ටර් ද ඩ්‍රැගන් එකේ ඉන්න කරාටිකාරයා එල්විස් ප්‍රෙස්ලී... සංගීතයාට එල්විස් ප්‍රෙස්ලී සහ බෲස්ලී පැටලීමෙන් මෙය සිදුවී ඇත. ධර්මාශෝකය පුරා ප්‍රසිද්ධවූ මේකතාව...කොල්ලෝ හදපු කතාවක් වෙන්නටත් බොහෝ ඉඩ තිබේ. මුළු ලංකාවේම ප්‍රසිද්ධවූ “අපි නොදන්න චෙස්” කතාවත් ධර්මාශෝකයේ සිදුවූ එකකි.
                           ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ තවත් ගුරුවරයකුගේ සිරිතවූයේ ළමයි කෑකෝ ගසමින්...ඩෙස්ක්ටොප් වලට තඩිබාමින් සිංදු කියන පංතිවලට...උළුවස්සෙන් ඔළුව පමණක් රිංගවා බලාසිට...(ට්‍රැෆික් පොලිස්කාරයින් වගේ) වැරදිකරුවන් අල්ලාගෙන අඩිකෝදුවේ දාරයෙන් පහර දීමයි. මෙසේ  ඔළුව පමණක් පඳුරෙන් එලියට රිංගවා...ඔළුව කරකවමින් අවට විපරම් කිරීම... මුගටින්ගේ සිරිත බැවින්...ඔහුට “මුගටියා” යන කීර්ති නාමය රෙජිස්ටර් විය. සොල සහ  ජෙල ගැන ඉගැන්වූ ගුරුවරයා “සොලයා” විය. ක්ෂණයකින් තරහගොස් නැවත ක්ෂණයකින් සිනාවෙන ගුරුවරයා “කටුස්සා” ලෙස නම්කරන ලදී. සාක්කුවේ අත දාගෙන කට ඇදකරගෙන ඉකිලි කසන ගුරුවරයා “පොකට් බිලියඩ්” විය. තවත් ගුරුවරියක් හැඳින්වූයේ “නාග රාජයා” යනුවෙනි. මේ නිතර නයිඅරින නිසානම් නොවේ...ගෙදරට පැමිණි ගැරඬියකුට නයකුයයි සිතා...නාගරාජයාණෙනි අපට සමාවෙලා එලියට වඩින්නැයි ගැරඬියාට වඳිමින් කියා ඇති බැවිණි. පෙත්තාවඩු සර් “පැරට් කාපෙන්ටර්” වූ අතර මානවඩු සර් “ප්‍රවුඩ් කාපෙන්ටර්” විය. මානිස් සර් පාරේ යනවිට කොල්ලෝ...මානිසා ඔබ නොපැතූ පැතුම්... කියා... මිල්ටන් මල්ලවආරච්චි සිංදු කෑල්ලක් කියමින් දිවූහ. උඩුගම්පල සර්  උඩ්ඩා වූ අතර ඉලේපෙරුම සර් ඉලයා විය !


# මේ එක නමක්වත් මං හදපු ඒවා නොවේ...ගුරුමෑණිවරුන් ගෙන්, ගුරු පියවරුන් ගෙන්, ගුරු දෙවිවරුන් ගෙන් ඉගෙන ගත්...මගේ බ්ලොග් පාඨකයෝ ගැත්තාට පස්වාන් දහසකට සමාව දෙත්වා...රාමෙන් ! #.                                

24 comments:

  1. අපෙත් සිටියා සත්තුවත්තක්ම. කක්කුට්ටෝ ගෙම්බෝ උකුස්සෝ පිරිලා

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ටත් නොයෙකුත් ආකාරයේ සත්වනාම තිබුණි !

      Delete
  2. Replies
    1. රාමේන් !...රාමේන් !...රාමේන් !

      Delete
  3. විද්‍යා විද්‍යාලයේ හිටියා මාරසිංහ කියලා උප විදුහල්පති සර් කෙනෙක්. හැමෝම කිව්වේ මාරයා කියලා. වැරද්දක් දැකලා මල පැන්නාම මාරයා ආව්සවුනා වගේ තමයි. හැබැයි හිත හොද රත්තරන් වටින ගුරුවරයෙක්. මම අදටත් ඉතාමත් ගරුකරනවා වගේම අපිට උගැන්නුවාට පිං දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි දෙගම්බඩ ටීචර්ට කිව්වේ "දඩින්,බිඩින් දොඩම් ගොඩ" කියලා.
      යහම්පත් සර් "යහම්පතා".මාරසිංහ සර්ගෙන් ගුටි කලා කියලා මතක නැහැ.හැබැයි ගුණපාල සර්ගෙන් නම් ගුටි කලා තියෙනවා.

      Delete
  4. කොහෙත් ඉන්නව. හැබායි විනෝදෙට මිසක් නින්දා කරන අදහසින් කියන්නෙ නෑ.
    කොමස්ට්‍රි ඉගැන්වු ගුනරත්ක බන්ඩා (GB) ඌ අතර ඔහුගේ කට හඩ අනුකරනය කර පෙන්නු පංතියේ එකෙක් එදා සිට 2GB විය

    ReplyDelete
  5. අපේ පංතියේ හිටියා කොල්ලො දෙන්නෙක් එකම ගමේ, එකටමයි ඉන්නෙ කන්නෙ බොන්නෙ හැම එකම.
    එකෙකුගෙ කාඩ් එක නොට්ටියා, අනිත් එකා නොට්ටි පුකයා.
    මේක වෙන වෙනම හරිම කරදයක් හින්දා නොට්ටි එලියට අරං වරහං ඇතුලෙ
    (1 + පුකය) කියල දැම්මා.

    ReplyDelete
  6. නං දැම්මේ නැ කියනව කොහොමද දන්නැ

    ReplyDelete
    Replies
    1. මට එකෙක් වත් ඉතුරුඋනේ නෑ

      Delete
  7. //මානවඩු සර් “ප්‍රවුඩ් කාපෙන්ටර්” විය
    Dimension carpenter නෙවෙයිද? :D

    ReplyDelete
  8. කෘෂිකර්ම ගුරුතුමාට උපන් ගෙයි උච්චාරණ දෝෂයක් තිබුනේය​. එම නිසා සමහර වචන උච්චාරණ කලේ අමුතු විදියකටය​. ඒවාට සිනාසීමෙන් ද කොළුවන් සර්ව ප්‍රකෝප කලේය​. වරක් කෘෂිකර්ම ගුරුතුමා සෝගම් වගාවෙන් වැඩි එලදාවක් ලබා ගැනීමට නිකව් සහ සුපෆ් ෆොෆ්ෆේෆ් ගස් වලට දැමිය යුතු බව කීවේය​. නිකව් සහ සුපෆ් ෆොෆ්ෆේෆ් කුමන අන්දමේ රසායනිකයන් දැයි තේරුම් ගැනීමට අපහසු වූ අප ඒ පිළිබඳව දැනමුත්තන් ගෙන් විචාලෙමු. පසුව හෙලි වූයේ නිකව් යනු නිකල් සහ සුපෆ් ෆොෆ්ෆේෆ් යනු සුපර් ෆොස්ෆේට් බවයි.

    මේ නිසා කොල්ලන් පස් වන මහලේ තිබූ අට -ඩී පන්තියට එ්මට පඩි නගින කෘෂිකර්ම සර්ට උඩ තට්ටුවේ සිට බොහොඞා හෝ නිකව් කියා හෝ සුපෆ් ෆොෆ්ෆේෆ් කියා කෑගසා සැඟවුනහ​. නමුත් ඊතලයක් සේ පන්තියට එන කෘෂිකර්ම සර් ඉගැන්වීම පටන් ගන්නේ සැකකරුවෙකුට නෙලීමෙනි.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. //ඩෙස්ක්ටොප් වලට තඩිබාමින් සිංදු කියන පංතිවලට//
    ඇයි ඒ කාලෙ ලැට්ටොප් තිබුනෙ නැද්ද? හැක්..

    ReplyDelete
  11. ප්‍රමාණයෙන් කුඩා සිරුරැති මට නමයේ සිසුන් 'පොඩි අක්කා' කිවූ බව දනිමි. බුද්ධාගම ඉගැන්වූ මගේ යෙහෙළියක 'නොසැලෙන ගුණය' නම් වූවාය. ඇය කියන්නේ ඒ පාඩම ඉතා දීර්ඝ නිසා දින කිහිපයක් ඉගැන්වූ බවයි. අප කුඩා කල බෙල්බොටම් කියා කලිසම් මෝස්තරයක් තිබුණි. සපත්තු පෙනෙන්නට බෙල්බොටම් ඇඳි ගුරුවරයා 'බෙටකොල්ස්' විය.

    ReplyDelete
  12. සෙල්ලම් භුතයා, කලුවරේ පොල් කෑල්ල, රිලයබල්, බොජ්ජා මේවා අපේ සර්ලාට තිබුණ දැනට මතක නම්. හැබැයි මේ අය අපිව හම ගහලා හැදුවේ නැත්නම් අද අපි රස්තියාදුකාරයෝ.

    ReplyDelete
  13. අපරාදෙ කියන්න බෑ ගැලපෙන්න නම් දාල තියනව :-)

    ReplyDelete
  14. අපේ ඔෆිස් එකෙත් ඉන්නවා පොකට් බිලියඩ් මැනේජරයෙක්.තැන නොතැන ඌට අදාල නැහැ හැමවෙලේම අත්දෙක කලිසම් සාක්කුවේ.නම කොට කරලා අපි කියන්නේ පී.බී කියලා.. උන්නැහේගේ නම පණ්ඩුල බාලසූරිය​.ඒකත් කොට කරාම පී.බී කියලා එන නිසා බය නැතුව ඔෆිස් එකේ අපේ උන් පී.බී කියලා කින්ඩි හිනාවක් දානවා

    ReplyDelete
  15. ගුරුවරයෙක් වෙලා, ළමයින්ගෙන් නමක් හදාගත්තේ නැත්නම් වැඩක් නෑ. ඒක හොඳ සිහිවටනයක්. මොනම නමක්වත් දාලා නැති ගුරුවරු නිකම්ම මතකයෙන් ගිලිහෙනවා.

    ReplyDelete
    Replies
    1. කුමණ හේතුවකින් හෝ සමහර ගුරුවරුන්ට නම් වැටුනේ නැත !

      Delete
  16. නමක් හදා නොගත්තු ගුරුවරයෙක් නම් පතොලයෙක් වෙන්ඩ ඕනෑ!

    ReplyDelete
  17. අපේ සර්ල කීප දෙනෙකුගේ නම් ටිකක් මතක් වුණා.. විනය බාර සර් විනයා, කතා කරද්දී දත් අස්සෙන් හුලං යන සර් කෙනෙක් හිටියා පොරට කිව්වේ ලේනා කියල.. කොන්ඩේ ක්‍රේල් කළු උස මහතා මිස් කෙනෙක් හිටියා එයා Dracula මිස්.. තව හිටියා කීරි බර්ටි කියල ෆිසික්ස් සර් කෙනෙක් හෙහ් හෙහ්

    ReplyDelete
  18. අපේ එකෙත් හිටියා සත්තු වත්තෙම උන් ටික

    ReplyDelete
  19. දොඩම්වල සර් දොඩමා විය. නැටුම් සර් නැට්ටුවා විය. රන්කොත්ගේ සර් රන්කොතා විය. පිසික්ස් සර් මකරා විය ( ඒ නහයෙන් අමුතු හඬක් නිකුත්කල නිසාය ). මැත්ස් සර් වඳුරු කොල්ලා විය. කළුගම්පිටිය සර් කළුවා විය. ඇත්ලටික් සර් පැණියා විය. මතක එපමණකි.

    ReplyDelete