Friday, 7 October 2016

ජේමිස් ළමයා...ලැන්ටි පිස්සා සහ ෂිකාබෝයි...


                                                                          මා කුඩා කාලයේ ගමේ සිටි ප්‍රසිද්ධ චරිතයකි ජේමිස් ළමයා. මොහු උපතින් පිරිමියෙකි...නමුත් ප්‍රිය කලේ කාන්තා ඇඳුමින් සැරසී...මාල වළලු පැළඳ..මූනේ අධික ලෙස පියරු දමාගෙන...ඇඟේ ඕඩිකොලෝන් තවරාගෙන මහපාරේ සැරිසැරීමටයි. ඔහු බොහෝවිට සැරසී සිටියේ චීත්ත රෙද්දකින් සහ හැට්ටයකිනි...නැතහොත් ගවුමකිනි. ඔහු කිසිම දිනක අපිරිසිදු ලෙස සිටියේ නැත. ජේමිස්ළමයා අඩි පහක් පමණ උසය. රැව්ල වවා නැත...මිටි නමුත් අතපය හැඩි දැඩිය...පිරිමියකු ලෙස කොණ්ඩය කොටටම කපා තිබූ බැවින් ගැහැණු ඇඳුමින් සැරසුන විට ඔහුගේ වූයේ විසුළු සහගත පෙනුමකි...නමුත් ඔහුට ඒගැන වගේ වගක් නැත.  අප ගමේ සිටි බොහෝ දෙනා ඔහු දුටු විට...කළකොලොප්පන් කල නිසා එවැනි දෙයකට අසුවූ විගස...ඔහු වහාම එතනින් පලායයි. පාරේ යනවිට විහිළු කළහොත් පාරේ අනිත් පැත්තට යයි. ඔහුගේ ආදායම් මාර්ගය වුයේ...දන්නා අඳුනන ගෙවල්වලට පැමිණ වංගෙඩි වල දමා වීකෙටීම සහ...ආප්ප හෝ ඉඳිආප්ප තම්බන්නට පිටි කොටා දීමයි. එවැනි තැන්වලදී ඉල්ලීමක් කළහොත්...පිටිකොටන එක මදකට නවතා කාන්තාවක් සේ...උකුල පද්දමින් නටමින්...අත් ලාලිත්‍යමය ලෙස ඉහලට ඔසවමින් ගීත ගායනා කිරීමද කළේය...රුක්මණීදේවි ඔහුගේ ප්‍රියතම ගායිකාව විය...නිතර ගයනා කල ගීතය “ආදරේ ඇයි පොඩි හඳමාමේ” ගීතයයි. ඔහුට තිබුනේ නාසික කාන්තා කටහඬකි...ඔහු නටමින් ගීත කියන අයුරු බැලීමට බොහෝ අය කැමති වූහ...නමුත් කිසිවකු ඔහු හාස්‍යට ලක්කළහොත් මුදලුත් නොගෙන වහාම එතනින් පලායයි. ගුරුවරියකවූ අපේ අම්මා ඇඳුම්, මුදල් සහ ප්ලාස්ටික් වළලු දෙමින් ජේමිස් ළමයාට කාරුණිකව සැලකූ බැවින්...ඈ ඉල්ලීමක් කල විගස ඔහු ගීත ගායනා කළේය...බෝක්කු උඩ සහ හන්දි ගානේ සිටි බීමත් රස්තියාදු කාරයෝ...ඔහුගේ ගවුම ඔසවමින් රෙද්ද කඩමින් ඔහුට හිරිහැර කළහ...වයස අවරුදු 90ක් පමණ වන ජේමිස් ළමයා තවමත් පොල්වත්තේ වැඩිහිටි නිවාසයක ජීවත් වෙයි.
                              අම්බලංගොඩ මහපාරේ සිටි තවත් අමතක නොවන චරිතයකි ලැන්ටි පිස්සා. මොහු කිසිදා නාන්නේ නැති කොණ්ඩය සහ රැවුලවවාගත් කිළුටු ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙකි. ඉතා දිග...කිසිදා පනාවක් නොදුටු  මොහුගේ කොණ්ඩය හැඩපළු ගෙතී ඇත. දැන් කාලේ හැටියට ඔලුවේ නලියන උකුණන් මරා...ලැන්ටිගේ කොණ්ඩය ස්ට්‍රේට් කරන්නට සන්සිල්ක් ගැලුම් තුන හතරකින් වත් බැරිය...ඔළුව වටේට රෙද්දක් ඔතා කිළුටු කඹ රෝල්වැනි රස්තා කොණ්ඩය...එය තුලට ඔබා ගැනීම ඔහුගේ යුනිෆෝම් එකේ කොටසකි. වැඩිහිටියෝ ළමයි බියවැද්දීමට බිහිසුණු  පෙනුමැති ලැන්ටි පෙන්වූහ. දුන්නොත් ගැනීම මිස ඔහු සිඟමන් යැද්දේ නැත. නගරයේ හෝටල් හිමියෝ පින්තකා ඔහුට ආහාර සැපයුහ. ඔහු දක්ෂ ඔරලෝසු කාර්මිකයෙකි. ඔහුගේ කිළුටු ඔළගුවේ ඔරලෝසු අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අඬු පඬු තිබුණි. අම්බලන්ගොඩයෝ...එකල බොහෝ නිවෙස්වල තිබුණු අටපට්ටම් හැඩයේ තොම්සන් බිත්ති ඔරලෝසු ඔහු ලවා රෙපයාර් කරගත්හ. ගාස්තුව රුපියල් දෙකකි. අපේ අම්බලංගොඩ ආච්චි ඔහුගේ කස්ටමර් කෙනෙකි... ලැන්ටි මේ අටපට්ටම් ඔරලෝසු රාජයා... ආච්චිගේ ඉස්තෝප්පුවේ බිම වාඩිවී...ගලවා  රෙපයාර් කරන අන්දම...ඔහුගේ ශරීරයෙන් හමනා පිච්චමල් සුවඳ වඳිමින් බලා සිටියෙමි.
                                                   ලැන්ටි සම්බන්ධ බොහෝ කතා ඇත...මේ ඉන් එකකි...කෑමට යමක් නොලැබුන දිනවලදී...පන්සල්වලට ගොස් කිසිවකු නැති අවස්තාවක්බලා   බුද්ධ පූජාව හොරෙන් කෑමට ලැන්ටි පුරුදුවී සිටියේය. ඔහු මෙය කලේ අමුතුම විදියකටය...මෙය නැරඹීමේ වාසනාව කිහිප දෙනෙකුටම ලැබී තිබුණි... රාත්‍රියේ බඩගින්නේ නිදාගත් ලැන්ටි බුදුගෙට රිංගා වැඳගෙන බුදුපිළිමය ඉදිරිපිට සිටගනී...උදෑසන හීල බුද්ධ පූජාව සඳහා කිරිබත් පීරිසියක් සහ කෙසෙල්ගෙඩි දෙක තුනක්...පිළිමය ඉදිරිපිට වරදින්නේ නැත... බුද්ධ පූජාව කා...ලැන්ටි පව් කරන්නත් බය නිසා...වැඩේ පටන් ගන්නේ මෙහෙමය...බුදුන් කන්න...ලැන්ටි කියයි...නෑ නෑ ලැන්ටිම කන්න...ලැන්ටි ආයෙත් කියයි...නෑ නෑ බුදුන්ම කන්න...නෑ නෑ ලැන්ටිම කන්න...ඔන්න ඔච්චරම කියන නිසා...එහෙනං ලැන්ටිම කනවා කියා... කිරිබත් පීරිසිය සහිත බුද්ධ පුජාව කොටා බායි. කෙනෙකු තනියම මොනවාහරි කමින් තමන්ටත් දෙන්න හැදූ විට ...”නෑ නෑ ලැන්ටිම කන්න” කීම...අම්බලන්ගොඩයන්ගේ සිරිත විය. පිට පලාතක කෙනෙකුට මේ “නෑ නෑ ලැන්ටිම කන්න” කතා තේරුනේ නැත. අම්බලන්ගොඩයන්ටම පමණක් තේරෙන මෙවැනි බොහෝ කතා ඇත.

                                                                        ෂිකාබෝයි අම්බලන්ගොඩ මහපාරට කොහෙන් ආවාදැයි නොදන්නා...එක්වරම අම්බලන්ගොඩ නගරයට ප්‍රාධූර්භූතවූ චරිතයකි. ෂිකා බෝයි කෙට්ටු අඩිහයක් පමණ උස මිනිහෙකි. කිළුටු ගොමස්කඩ කුඩා රෙදි කෑල්ලක් යන්තම් ඉනවටේ ඔතාගෙන...රෝහිණී බේකරිය ඉදිරිපිට පේමන්ට් එකේ ඇණ තියාගෙන...නොනවත්වා බීඩි බොමින් දවස ගත කරයි. රෙදි කෑල්ල පුංචි නිසා අඩුවැඩිය සෙට්එක එළියේය. පාරේ ගමන්කරන ගැහැණු මේ අඟහරු ලෝකෙන් ආ ෂිකා දැක වහා ඉවත බලා ගනිති. දවසක් ෂිකාබෝයි සහ ලැන්ටි පිස්සා අතර මාරාන්තික ද්වන්ධ සටනක් ඇතිවිය. හේතුව ෂිකාබෝයි බොමින්සිටි බීඩිය ලැන්ටි උදුරා ගැනීමයි. ලැන්ටි සටනේදී  ෂිකාගේ දරුණු තායි කික් බොක්සිං පහරකින්  බිම වැටුන අතර...ෂිකා ලැන්ටිගේ ඇඟ උඩ නැග ලැන්ටිගේ මූණ ඩබල් බ්ලැක් අයි වනතුරු නෙළුවේය. අමාරුවෙන් නැගිටගත් ලැන්ටි වික්‍රමසුරිය හන්දියේ සිටි පොලිස් කාරයින් දෙදෙනාට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කළේය. ෂිකා අල්ලාගත් පොලිස් කාරයෝ...ශිකාගේ කනට දෙකක් ගසා ගියහ. දැන් ෂිකා පොලීසියෙන් ගුටිකා බිම ඇණ තියාගෙන සිටී...සිද්ධිය දුටු පුද්ගලයෙක් ශිකාට බීඩියක් අරන්දී... ශිකා උඹට පොලීසියෙන් ගැහුවනේද ? කියා අසා තිබේ...ෂිකා ගේ පිළිතුරවී ඇත්තේ “ගැහුවයි කියල කියනව...කොහොමද දන්නෑ”  කියාය. පසුව මේ කතාව වසංගතයක් මෙන් ධර්මාශෝකයේ කොල්ලන් අතර පැතිරුණි. ගුරුවරයෙකු චිත්‍රය ඇන්දාදැයි අපෙන් ඇසූවිට...”ඇන්දයි කියල කියනව...කොහොමද දන්නෑ” කියා අපි පිළිතුරු දුන්නෙමු. මැච් එක දිනුවද ඇහුවොත් “දිනුවයි කියල කියනව...කොහොමද දන්නෑ” කියා පිළිතුරු දුන්නෙමු. ඕනෑම කෙනෙක් අසන සෑම දෙයකටම පිළිතුරු ලැබුනේ මේ ආකාරයටය. මේ කුප්ප, කොහොමද දන්නෑ කතාව නිසා කුපිතවූ ඇතැම් ගුරුවරු...ඉල්ලං ගුටිකෑම විනෝදාංශය කරගත් අපට නෙළුවෝය.  

#දැන් කාලේ හැටියට නම් මෙය..."හොරු ඇල්ලුවයි කියල කියනව...කොහොමද දන්නෑ"...වියයුතුය#
   

38 comments:

  1. කලින් පොස්ට් එකක් ලියල හොරෙන්ම මැකුවයි කියවනා ....කොහොමද දන්නැ

    ReplyDelete
    Replies
    1. ඒක බලධාරියා (වයිෆ්) වසින් කපාහැරියා කියල කියනව කොහොමද දන්නෙ නෑ.
      මකල් හිරේ ගියා කියලත් කියනව, ඒකත් කොහොමද දන්නෙ නෑ

      Delete
    2. තරහ ගිහින් අපිට රිප්ලයි කරල නැ අනිත් අයට රිප්ලයි කරල කියල කියනව ,....කොහොමද දන්නැ

      Delete
    3. මැකුවයි කියල කියනව කොහොමද දන්නෑ

      Delete
    4. අටම් එක්ක බිව්වයි කියනව...කොහොමද දන්නෙනෑ !

      Delete
    5. බොන්න නම් අපිත් ආසයි කොහොමද දන්නෑ

      Delete
  2. මරු කතා ටික. ගිය ඉරිදා ලංකාදිපෙ තිබුන පිරිමි ඇඳුම් ඇඳගත්ත බුවෙක් ගෑනියෙක් එක්ක සෙට්වෙච්ච කතාවක්. ඒ මදිවට රොබරිත් දීල. ජේමිස් ලමයත් ඒ ජාතියෙ කෙනෙක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ...ජේමිස් ළමය පට්ටම අහිංසකයෙක් !

      Delete
    2. නෑ රොබරි කාරයෙක් කියල නෙවේ කිව්වෙ, ලිංගික අනන්‍යතා අර්බුධයට ලක් වූ කෙනෙක්?

      Delete
  3. බඩ අල්ලං හිනා වුනා කියනව.. කොහොමද දන්නෑ ඉතිං.. හැක්

    ReplyDelete
  4. පට්ටයි කියල කියනව කෝමද දන්නෑ :)

    ReplyDelete
  5. අති විශිෂ්ටයි.��

    ReplyDelete
  6. ඈස් පර් යුවර් ඇඩ්වයිස් ...මමත් දැම්මා බෝඩ් ලෑල්ලක් අලිවැට නෑ.. මොණර වැට ගාව මෙන්න මෙහෙම..
    "බිම්බෝම්බ වළලා නැත.....ඇත්තද දන්නේ නෑ..."

    ReplyDelete
    Replies
    1. බිම්බෝම්බයි කියනව...කොහොමද දන්නෑ...හිටං !

      Delete
  7. කතාව නම් එලටම තියෙනවා කියනවා .....කොහොමද දන්නේ නෑ.........

    ReplyDelete
  8. //#දැන් කාලේ හැටියට නම් මෙය..."හොරු ඇල්ලුවයි කියල කියනව...කොහොමද දන්නෑ"...වියයුතුය#//
    අවසානය මරු.
    දම්සො පුතාත් පොඩි කාලෙ බත් කෑවෙ ලැන්ටි පිස්සට බයට.
    අම්බලන්ගොඩයෙක් සහ පටබැන්දිමුල්ලෙක් විදියට තව කෙනෙක් එකතු කරන්නම්. ඒ තමයි "පැට්‍රෝල්". මන් කොය් වගේට මතකද දන්නෑ. ගන් ඉම ගල ඉස්සරහ හිටියෙ. එයා කරන්නෙ පොඩි බෝතලයකට පැට්‍රෝල් දාගෙන පොඩි රෙදි කෑල්ලක් පොඟවලා නහයට අල්ලන එක. ඊට පස්සෙ ජෝතිපාලගෙ සින්දු කිය කිය ගල ලඟ ඉඳන් රවුන්දබවුට් එක ලඟට පැට්‍රෝල් ගැහුවා වගෙ දුවන එක. අහලා තියෙන විදියට පැට්‍රෝල් පොඩි කාලේ එයාගෙ තාත්තා ටැන්කියේ පතුලෙ ඉතුරු වෙන පැට්‍රෝල් බටේකින් ඇද්දුවලු.

    ReplyDelete
    Replies
    1. සොරි මචං...මට ඌ අමතක උනා !

      Delete
    2. ඔය පෙට්‍රල් නහයට උරලා ආතල් ගන්න එවුන් ඉන්නවා. ඉස්සර මිඩ්ලීස්ට්වල ඔහොම අය හිටියා. ඒකට ඇඩික්ට්වෙනවා කියනවා , කොහොමද දන්නෑ..

      Delete
    3. ඉන්නව ඉන්නවලු , ඕක ආරෙටත් යනවලු .දැකලත් තියනවලු ; විදලත් තියනවලු .... කොහොමද දන්නෑ.

      Delete
    4. හුටා... එහෙමත් එකක්ද?

      Delete
  9. ඒකත් එහෙමයි වුනේ කියනවා, කොහොමද දන්නෑ...

    ReplyDelete
  10. නියම චරිත ටිකක්. හොඳට ලියලා තියෙනවා.

    ReplyDelete
  11. මම මේ ගෙදර යනගමන්.අම්බලන්ගොඩත් පහුවෙන්න ලඟයි.මරු කථා ටික.තනියෙන් හිනා...
    ජයවේවා...!

    ReplyDelete
  12. ඇයි ශරත්, මැම්බර් , හුග් ගඳයා (නෝනා හෙටත් කිරි ගේන්නද, කපාපියෝ ලිහාපියෝ )
    උනුත් අම්බලන්ගොඩ හිටියයි කියල නං කියනවා ... කොහොමද දන්නෑ

    ReplyDelete
  13. ලොකය ගොලාකාරයි මින්ස්සු විවිධා කාරයි කියලත් කියනව (ලෝකේ ගෝලාකාරයි කියන එකනම් කොහොමද දන්නෑ)

    ReplyDelete
    Replies
    1. ලෝකෙ තැටියක් කියල එක ඩෑල් එකක් මේ ළඟදි කියල තිබුණ. කොහොමද දන්නෑ..

      Delete
    2. ලොකෙ ගැට්ට ගාවට ගිහින් කබේ දාල ගැටගාන ගනං කරානම් කියන්න පුලුවන්.

      Delete
  14. ඔහොම පිස්සු හදාගෙන ඉන්න සමහර ඩයල් සෑහෙන්න මීටර් පොරවල් අර ලැන්ටි වගේ.
    පිස්සංගෙ වලි බේරන්න යන පොලීසිය ඊට වැඩිය පිස්සො කියල කියනව. කොහොමද දන්නෑ..

    ReplyDelete
  15. මේ පොස්ට් එක කියවන්න උනේ නැහැ. අටමා තමා එව්වේ.. මේක මගහැරුනානම් හරිම අපරාදයක්.

    ඇවිදින කුස්සිය ගැනත් ලියවුනානම් වටිනවා ඉතින්. මම හිතන්නේ ඔබ තුමා දන්නවා ඇති පාරේ කොහේ හරි තියාගෙන උයාගෙන කන මොබයිල් කිචන් එකක් තිබ්බ සිහිය මදි මනුස්සයෙක් හිටිය. අපි එයාට කිව්වේ ඇවිදින කුස්සිය කියලයි. පසු කාලීනව කෝච්චිය හැප්පුනා කියල තමා ආරංචි වුනේ..

    ජේමිස් ළමයා නම් අපේ ගෙවල්වලත් මේ මෑතක් වෙනකම් ආව ගිය කෙනෙක්. එක වතාවක් පිටි කොටන්න ගමන් අපේ පුංචි අම්ම ජේමිස් ළමයට " මේ මනුස්සය " කියල ආමන්ත්‍රණය කරලා කාලයක් තරහ වෙලත් උන්න. දැන් පොල්වත්තේ වැඩිහිටි නිවාසේ ඉන්නව. මම හිතන්නේ ජේමිස් ළමයට කවදාවත් වේලක් වැරදුනේ නැහැ මුළු ජීවිත කාලේ පුරාම.. අපි පුංචි කාලේ තමා ජේමිස් ළමයාගේ මාල කරාබු වළලු දාගෙන මුනේ පවුඩර් උලාගෙන හිටියේ. පස්සෙන් පහු වයසට යනකොට ෆැෂන් ටිකක් අඩුවුනා.

    මේ ෂිකා බෝයි කියන කෙනානම් මගේ ඇහැට කනට වැටිලා නැහැ මම හිතන්නේ.. ඒ ගැන ටිකක් හොයල බලන්න ඕන සමහර විට අපි කිව්වේ වෙන නමක්ද දන්නේ නැහැ.

    ලැන්ටි සීයා නම් ඉතින් නිතර අපේ ගෙවල් පාරේ ආව ගියා. ඒ යන එන ගමන් වඩුගෙදර සීය එක්ක වචනයක් දෙකක් කතා කරනවා. වඩුගෙදර සීයා ඔරලෝසු එහෙමත් හදවගන්නවා ලැන්ටි සීයට කියල.

    අපි හුගාක් පුංචි කාලේ පොල්වත්තේ පංසලේ හිටිය මාටින් කියල සීය කෙනෙක්.. ටිකක් විතර විහිළු සහගතයි.. ඒ කාලේ සත දෙකක් දුන්නම අමුතු උඩ පනිල්ලක් පනිනවා අපිට හිනා වෙලා මැරෙන්නම..

    ලැන්ටි මහා රෑ දොළහට විතර අම්බලන්ගොඩ කනත්තේ මිනියක් පිච්චෙන ගින්දර ගොඩට ලං වෙලා කොස් ඇට පුච්චන් කනවා දැකපු කීප දෙනෙක් භයවෙලා තිබ්බ. කළුවරේ දුරට පෙන්නේ මිනිය පිච්චෙන තැනට රැවුල වවාගත්තු කෙනෙක් ලං වෙලා ගින්දර අවුස්සලා යමක් කටට දාගන්න ව විතරලු. පස්සේ ලං වෙලා බැලින්නම් ලැන්ටි කොස් ඇට පුච්චන් කනවලු මිනිය පිච්චුන ගිනි අඟුරු ගොඩෙන්..

    ReplyDelete
    Replies
    1. ලැන්ටි ගේ ඔය කතාව මාත් අහල තියෙනව.

      Delete
  16. ගම් පළාත් වල ඉන්න අපූරු චරිත ගැන ලිව්වනම් හොඳයි කියලත් හිතෙනවා,. කොහොමද නම් දන්නේ නෑ

    ReplyDelete
  17. මේක මරු පෝස්ට් එකක්..

    ReplyDelete
  18. ලැන්ටි පිස්සා ගැනනම් මාත් අහලා තියෙනවා

    ReplyDelete
  19. පොතක් ලියුවයි කියල කියනව... කොහොමද දන්නෑ.

    ReplyDelete
  20. මොවුන් දෙදෙනාම වැඩි පුර හිටියේ dental එක ඉස්සරහා පාරේ කුරුදු කඩේ ලග.. එක් කෙනෙක් ගිනිගේ family එකේ කෙනෙක්...

    ReplyDelete
  21. එක්කෙනෙක් 'තනි තටුවෙන් පියාඹන්න' ගියෙත් ඔය ජේමිස් ළමය වගේ කතාවක් කියන්න ගිහින් කියනවා.කොහොමද දන්නෑ.
    ජයවේවා..!!

    ReplyDelete