Wednesday, 27 July 2016

සරුංගල් කාරයා

                                     ශ්‍රී ලංකාවේ දක්ෂම සරුංගල් සාදන්නන් සිටින ප්‍රදේශය අම්බලන්ගොඩයි. මෙසේ කියන්නට හේතුවක් තිබේ. කොහු ලණුවක් වැනි දෙයක් හෝ...රැලි එල්ලන්නේ නැතිව යවන්නට හැකි...ත්‍රිකෝණාකාර සරුංගලයක් සෑදියහැකි කෂ්ටිය සිටින්නේ අම්බලන්ගොඩ පමණකි. දැනට මා පදිංචි මාතර පැත්තේ කොල්ලන්ට කොහුලණුවක් නොඑල්ලා සරුංගලයක් යැවිය නොහැකිය. ත්‍රිකෝණාකාර සරුංගලයක් රැලි එල්ලන්නේ නැතිව...කූරියා ගසන්නේ නැතිව යවන්නට නම් එයසෑදීමේදී ඉතාම සම බරව සෑදිය යුතුය. නූල ගැට ගසන සේරුව තිතට ටියුන් කල යුතුය. මේ සඳහා ඉතා ඉහල පළපුරුද්දක් තිබිය යුතුය. අප පොඩිකාලේ කොහුලණු එල්ලා සරුංගල් යවන්නන් සැලකුනේ සරුංගල් කලාවේ අදක්ෂයන් හැටියටය. වයස 8ක් වනවිට මම මෙවැනි රැලි නොඑල්ලා යවන සරුංගල් (කාක්කන්) සෑදීමේ විශේෂ පළපුරුද්දක් ලබා සිටියෙමි. කාක්කාගේ විශේෂත්වය උඩ යැවූ විට එහි නූල ඉතා ඉහල ආනතියක් සහිතව පිහිටීමයි. මේ නිසා ඉතා අඩු නූල් ප්‍රමාණයකින් ඉතා වැඩි උසකට කාක්කා  සරුංගලය යැවිය හැකිවේ. සිංහල අව්රුදු කාලය පසුවූ විගසම අප වැනි සරුංගල් පිස්සුව වැළඳුනු කොළුනඩය කලඑළි බසින්නට පටන්ගනී. මේ සරුංගල් පිස්සුව දේවාලේ පෙරහැර පවත්වන අගෝස්තු මාසය දක්වාම පවතී. දවල් පෙරහැර ගමන් කරනවිට...මහජනයාට දර්ශනය වන පරිදි... සරුංගල් විශාල ප්‍රමාණයක් අහසට නංවා තැබීමට කොල්ලෝ මහත් උනන්දුවක් දැක්වූහ.  මුහුදු වෙරළ, මිනී කනත්ත හෝ මහජන ක්‍රීඩාංගනය අපේ සරුංගල් යැවීමේ තිප්පලවල්වේ. සරුංගලය වැටකෙයියා ගසක ගැට ගසා...කැරකෝප්පුවේ වැටකෙයිගාලේ  නිදාගත් හැටි මටතාමත් මතකය.     
                           මා කුඩාකල සරුංගල් පිස්සුව අම්බලන්ගොඩ පැත්තේ කොල්ලන්ට පමණක් පමණක් වැළඳුනු රෝගයක් නොවුනි. පැරිස් හෝටලයේ මුදලාලි...සරසවි හෝටලේ මුදලාලි වැනි පුද්ගලයන් අතරද දිගම නයා සරුංගලය සෑදීමේ තරඟයක් තිබුණි බොහෝවිට ජයග්‍රහණය කලේ පැරිස් නයාය...එය සමහර විට අඩි 180ක් තරම් දිග එකකි. පැරිස් යනුවෙන් එහි පොල්ගෙඩි අකුරින් ලියාතිබුණි...උඩයැවීමට නූල් වෙනුවට තංගුස් භාවිතා කරන ලදී. අම්බලන්ගොඩ පරණපාරේ...ආකස් අයියා නමැති පුද්ගලයා විශාල කිතුල්පිති භාවිතාකර දැවැන්ත කාක්කන් නිපදවීමේ විශේෂඥයකුවිය. මේ කාක්කන් බොහෝවිට සරසා තිබුනේ විශාල ඉංග්‍රීසි කොඩියකිනි. එය රුසියන් කාරයෝ ලයිකා බැල්ල අභ්‍යවකාශගත කල යුගය විය. මේ අනුව අම්බලන්ගොඩයෝද...දැවැන්ත කාක්කකුගේ පරිසර හිතකාමී පිරිවැස්සක් (මොකක්ද කියල ආච්චිගෙන් අහපන්) ගැට ගසා...පාරේ සිටි බලුපැටියකු එය තුලට දමා...අම්බලන්ගොඩ මාකට් එක අසලින්  ඉහල අහසට යැවූ හැටි මට අදමෙන් මතකය....සැතපුමක් පමණ ඉහල අභ්‍යවකාශයට යවා බලු පැටියා නිරුපද්‍රිතව පෘතුවියට ගෙන්වාගැනීමට මාළුකාර අභ්‍යවකාශ ඉංජිනේරුවෝ සමත්වූහ !. 
                        කාක්කා, වවුලා, පෙට්ටිය, ඔටුණුබට්ටා, රොකට් එක, මාළුවා, රවුම් ඔළුව සහිත නයා අම්බලන්ගොඩටම ආවේනික ජනප්‍රිය සරුංගල් වර්ග විය. ඔටුණුබට්ටා කූරියා නොගසා එකවරම අහසට යැවිය හැකි සරුංගලයකි. අපෝ...ඕන මෝඩයෙකුට පුළුවන් ඔටුණුබට්ටෙක් හදන්න...පුළුවන්නම් හදපන් කාක්කෙක්!. මේ තවත් අපි කල සෙල්ලමක්...ෆයිල් කටුවකින් කොක්කක් සාදා...නූල් කැබැල්ලකින් එය බැළුම්බෝලයකට සවිකරනු ලැබේ සරුංගලය අහසට යැවීමෙන් පසු....නූලේ ඇති ගැටයකට හේත්තුකර කොක්කට ගැටගසාඇති බැළුම තබනු ලැබේ. අඩි 50ක් පමණ නූල් දුන් පසු...උඩුසුළඟට හසුවන බැළුම රොකට්එකක් මෙන් නූල දිහේ වේගයෙන් ඉහලට යයි. නෙච්චියක් (නූල මදක් අකුලා එකවර අතහැරීම) දුන්විගස බැළුම නූලෙන් මිදී ගුවන් ගතවී ඈතට පාවී යයි. කොල්ලෝ බැළුම අහුලා ගැනීමට බෙල්ල කඩාගෙන දුවති !


           සමහරවිට කොලයක ලිවූ ස්මාර්ට් ෆෝන් එකේ නොම්මරයද මේ සමග යවනු ලැබේ...කෙල්ලෙකුට බැළුම හම්බ උනොත් ආතල්ම තමයි....ඒකාලෙ සැල්ෆෝන් තිබුනද ? බොරුනම් සීයගෙන් අහපං... සීයට ආච්චි සැට් උනේ එහෙමලු !                 

17 comments:

  1. හැක්.. හැක්.. නියම සරුංගල් මතකයක්.

    ReplyDelete
  2. ළමා කාලේ සුන්දර සරුංගල් මතකය අලුත්වුණා, මේක කියෙව්වාම.

    ජයවේවා!!!

    ReplyDelete
  3. මාර සරුංගල්...

    ReplyDelete
  4. පැරිස් නයා, අඩේ මතක් වෙනකොටත් ආසයි බන්!. මාකට් එක ගාවට ගියාම අහසේ තියෙන නයි (සහ අනිත් සරුංගල්) ඒ දවස්වල.
    ඇයි සරත් ඉටිපන්දම ගහල රෑට නුල දිගේ බකට් යවන එක අමතක උනාද.
    මිනී කනත්තට අම්බලන්ගොඩ වචනේ කැරකෝප්පුව. (ලන්දේසින්ගේ 'kerkhof' වලින් ආපු.)
    බොහොම ඉස්තුතියි පරණ මතකේ අලුත් කළාට.

    ReplyDelete
  5. ආච්චි සීයාගෙන් ඇහුවලු මොකද නිකං දෙකක් වගේ කියලා.

    ReplyDelete
  6. මාත් හැමවසරකම කරනවා මේ පාර තාම බැරි උනා

    ReplyDelete
  7. මාතර පැත්තෙ මොදරා කියන්නෙ මොකේටද?
    ජයවේවා..!!

    ReplyDelete
  8. ඉස්සර නම් මේ වෙද්දී සරුංගල් හදන්න පටන් අරන්. ඒකට දැන්. දැන් ඔක්කොම අතීතයට එකතු වෙලා ගිහින්.

    ReplyDelete
  9. මහන්සියෙං හදපු සරුංගලේ නූල කඩාගෙන ගියපුවාම තියෙන දුක.... කඩෙන් ගන්නේවගෙන් ඒම දැනෙන් නෑ......

    ReplyDelete
  10. කන්දෙගොඩ ඉන්න කාලේ බෝතලේකට ඊයම්, අලුහුනු අරවා මේවා දාලා බැලුම් පුම්බ්ලා ඇඩ්ඩ්‍රස් ගහලා ඇරියා ඒ කාලේ.....තාම බලන් ඉන්නවා කවුරු හරි ඇඩ්ඩ්‍රස් එකට පෝස්ට් කාඩ් එකක් එවයි කියලා..කෝ නෑනේ...!

    ReplyDelete
    Replies
    1. කෝස්ටික් සෝඩා සහ සිගරැට් පෙට්ටි ඊයම් කොළ... මං දැම්මෙ

      Delete
    2. කාක්කට අපි කිවුවෙ කොම්බුවා. වවුලට කොම්බු කූර නෑ. අපි තව හැදුව මොනරා. ඩබල් සරුංගල්- අක්කයි නංගියි, සමනලය, ඉදල - මොනරගෙ පුකට ‍රැලි වෙනුවට ඉර‍ටු දාල. මම ආසම මොනර හදන්න. කිතුල් පිත්ත මැදට දාල අත්ත‍ටු උන ලීයෙන් හදල. අඩි 13 -14 විතර ලොකුවට හදනව. නයිලෝන් නූල් වෙලු3 මහත එක හරි වෙලු 4 කාලක් හරි බාගයක් ගන්නව පිටකො‍ටුවෙ මාලු කඩෙන්. උඩු හුලඟට අහු උනාම දවසම තියන්න පුලුවන්. අඩි තුනේ හතරෙ කොම්බුව (කාක්ක) හෙන ආතල්. ඌට නෙච්චි දීල කූරිය ගස්සනව ගස් මට්ටමට එනකන් ආයිත් නෙච්ච්යක් දීල උඩට ගන්නව. ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නෙ තව සරුංගලේකට මාට්‍ටු දාන. කොම්බුව අරින නූල වෙලු 3 හීනි නැත්තන් වෙලු 2 නිසා මහත නූල් ඒකට කැපෙනව. කොම්බුවගෙං මාට්‍ටුදාල හයියෙන් දෙපාරක් ඇද්ද ගමන් අනිත් සරුං ගලේ කඩල යනව. වලිත් යනව. ඒත් ගොඩක් වෙලාවට තර‍ඟෙට තමයි. සරුං ගලේ ඔලුවට මුදුන් වෙන්න හදන්න පුලුවන් එකා දස්සය. කොම්බු කූර දිගට තියල බොක්ක අඩුවෙන් හැදුවම සරුං ගකේ කීං ගාගෙන ඔලුවට එන්නෙ.

      Delete
    3. හයියෝ බොලා මතක් කොරන දේවල්. සරුංගල් කාලෙ එන්න මාසෙකට විතර ඉස්සෙල්ල කැලේ පීරල මෝරච්ච කිතුල් පිති කපං එනව. උඩ කුරුට්ට හූරල පොල්තෙල් ගාල ගිනි ගොඩක් ගහල තවා ගන්නව. ඊට පස්සෙ වංගු ඇද යන්න සමතලා පොලොවෙ තියල බරට ගල් උඩින් තියල වේලෙන්න අරිනව. පොල්තෙල් ගාල තවල ගත්තම හුලං සැර උනත් පිත්ත දෙකට කැඩෙන්නෑ. එක පාරක්. ගේ ඇතුලෙ සරුංගලයක් හදල දොරෙන් එලියට ගන්න බැරි උනා කියහංකො.....චාටර්....

      Delete
    4. බැලුං සීන් එකට උණුවතුරත් දාන නිසා අපි බෝතලේ වලලලා තමයි බඩු එකතු කරන්නෙ.කෝස්ටික් සෝඩා ගාගෙන ලෙස්ස ලෙස්ස..

      Delete
  11. මේක කියෙව්වහම පරන මතකය අවදි වෙනවා.අගෝස්තු වෙනකොට සරුංගල් යවන කාලේ නේ කියල හිතෙන කොටත් දුකයි.මට නම් සරුංගල් හදන්න බෑ .නයි තමයි මම හැදුවේ.නමුත් හොඳට සරුංගල් තට්‍ටු හදන යාලුවෝ කීප දෙනෙක් හිටපු නිසා ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.78 හෝ 79 ගමේ තිබුන සරුංගල් තර‍ඟෙකින් පලවෙනියා වුනා ඔය යාලුවෙක් හදලා දීපු අඩි 6ක් විතර උස මොනරෙක් යවලා.සිංහ කොඩියක් වගේ පේන්න ඒක තෙල් කඩදාසි ව්ලින් අලවලා දුන්නේ බොහොම ප්‍රසිද්ධ ජේ වී පී. සාමාජිකයෙක් වන ආගිරිස් කෝස්තා.තෑග්ගට හම්බවුආ ඒ කාලේ බොහොම ජනප්‍රිය පොලියෙස්ටර් කමිසයක්.

    ReplyDelete
  12. සීයගෙ ඉලපතේ ඉරටවලින් වව්ල්ලූ හැදුවම, සීයා බනින්නේ මාතලන්ට නෙමෙයි, මාතලන්ගේ අම්මට.

    ReplyDelete
  13. දැන් අම්බලන්ගොඩ අහස සරුන්ගල් කාලේට හරිම පාලුයි. දුකත් හිතෙනවා. දම්සො පුතාලා දිගම නයා තරගෙට නයා හැදුවේ එම් ඕ එච් කන්තෝරුව ඇතුලේ. එතකොට අපි පොඩි එවුන්. නිමල් අය්යා, ආනන්ද අය්යා එහෙම තමයි මූලිකත්වය ගත්තේ. සරුන්ගල් කඩා ගෙන ගියාම පොල්වත්තට යනකම් දුවලා කොහොම හරි හොයගෙන එනවා. වැල්ලේ සරුන්ගලේ නග්ගලා ලයිට් කම්බි උඩින් පන්නගෙන ගෙදරට ගේන්න හෙන ගේමක් දුන්නා.

    ReplyDelete