Thursday, 28 July 2016

ගෙඳවානෙගල


                                 

ගෙඳවානෙගල
                      අම්බලන්ගොඩ මුහුදු වෙරළට යන ඕනම කෙනෙකුට පෙනෙන දෙයක් තමයි වෙරළින් කිලෝමීටරයක් පමණ ඈතින් ඇති ගල් පර්වත වලින් සෑදුනු දූපත. ඒකට ධීවරයො කියන්නෙ ගෙඳවානෙගල. මං පොඩිකාලෙ තනියම වැල්ලට ගිහිං මේ දූපත දිහා බලාගෙන ඉන්න හරිම ආසයි. ඉර බහින වෙලාවට රතුපාට වලාකුළු වල හැඩය ක්‍රමයෙන් වෙනස්වන හැටි බලන් ඉන්න එක කවදාවත් එපාවෙන දෙයක් නෙවෙයි. ඉර ටික ටික මුහුදෙ ගිලිල කරුවල වෙනකොට මහ පාළු හැඟීමක් ඇතිවෙනව. ඒදවස්වල මගේ අදහස තිබුනෙ පොඩි පැලක් හදාගෙන මේ දූපතේ  පදිංචි වෙන්න. සමහරවිට මුහුදු මංකොල්ල කාරයො ඕකෙ නිධානයක් හංගල ඇති කියලත් පුංචි මට හිතුන. ධීවරයො මුහුදු යන්නෙ නැති වාරකන් කාලෙට දූපත කිටුවට ඔරුවකින් යන්න බෑ. ඒ දවස්වල මේ දූපතේ වාසය කලේ ලක්ෂ ගණනක් මුහුදු ලිහිණියෝ. සිතියම්වල මේ දූපත දැක්වෙන්නෙ කුරුළු අභයභූමියක් ලෙසටයි. දැන් ඒකෙ එක මුහුදු ලිහිණියෙක් වත් නෑ. මිනිස්සු ලිහිණි බිත්තර හොරකං කරල කන්න පටන් ගත්තම ලිහිණියෝ දූපත අත්හැරල ගියා. අපි පොඩිකාලේ...වැස්සක් ලඟම එනකොට ලිහිණින් ලක්ෂ ගණනින්...අහසපුරා වේගයෙන් පියාඹන හැටි මනස්කාන්ත දර්ශනයක්. ලිහිණින් රෑණ පියාසලන්නේ...මන්දාරම් වැහිපොද වැටෙන්නේ...
                                         දූපත වටේටම ඝනසාරෙට වැවිල තිබුනෙ ගෙඳ නමින් හඳුන්වන මුහුදු පැලෑටි වර්ගයක්. ඒවා යාරයක් විතර දිගයි. උයල කන්නත් පුළුවන්...හරියට නිවිති වගෙයි. දූපතට ගෙඳවානෙගල කියන නම හැදුනෙත් ඒනිසා. වාරකන් ඉවරවෙනවත් එක්කම අපි පීනලා ගිහිං දූපත ආක්‍රමණය කරනවා. හුලං ගහපු ලොරි ටියුබ් එකකුත් අරං යනවා. ඒකට පටවලා තියෙන්නෙ දොදොල් හැඳිගාන්න ගන්න දිග පත්තකුයි, ගෝනියකුයි, බිලීපිත්තකුයි. ගල වටේටම තියෙනවා පොකුරු පොකුරු බෙල්ලෝ. පත්තෙන් ගලවලා ගෝනියට දාගන්නවා. මේ වැඩේදී මගේ සගයා උනේ සුනිල් නොහොත් “ලෝකයා” දැන් ඌ ජපානෙට වෙලා ඉන්නවා. සමහර වෙලාවට අපි මේ බෙල්ලෝ අමුවෙන්ම කෑවා...කිරිරසයි. තම්බලා අරං අමුමිරිස්, රතු ළුනු, දෙහි,ගම්මිරිස් දාල සම්බල් හැදුවම ලෝකේ තියෙන ඉහලම කෑමක්...අම්බලන්ගොඩයන් කැමති අනිත් කෑම තමයි දෙලුයි...මිරිසට උයපු බලමාලුයි පොලුයි.  හිල්ටන් එකෙත් නෑ එච්චර රස කෑම. උෂ්නයි...මොන පිස්සුද තවම ඇඟේ තියෙන්නේ ඒව. බෙල්ලෝ ඇමට ගහලා අපි මාළු බෑවා. පරව් තමයි අල්ලන්න ආසම...ඌ බිලිපිත්ත නමාගෙන එහේ මෙහේ දුවන නිසා ගොඩගන්න හරිම අමාරුයි.

     

                      ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩවලින් ගැලවෙන්න. අම්මගෙයි තාත්තගෙයි තද නීති වලින් ගැලවිලා ඉන්න හොඳම තැන තමයි වැල්ල. වැල්ලේ ලෝකය අමුතු එකක් ඒකෙදි මට හම්බ උනා වීරයෝ තුන්දෙනෙක්. තුන්දෙනාම දක්ෂයෝ. එක්කෙනෙක් තමයි “රත්තා” කියන ධීවර කොල්ලා. එයා කලේ වැල්ල දිගේ ඇවිදිමින් කිතුල් බිලීපිත්තකින් මාළු බාන එක. මම තමයි එයාගෙ ගමන් සගයා. මගේ ජොබ් එක ඇමට ඕනෙකරන කරයො (හිරිගල්යට ඉන්න පුංචි පත්තෑයෙක් වගේ සතෙක්) අල්ලලා දෙන එක. එයාට වැඩිය අහුඋනේ කලන්දො, වාව්වො, පරාපැටව් වගේ පුංචි මාළු. වාරකන් කාලෙට රත්තා කලේ ගලක් උඩ ඉඳගෙන රෝල ගහන එක. දිග තංගුස් නූලක් වළල්ලක් විදියට රෝල් කරනවා...එකේ කෙලවරේ ඊයම් බරුවකුයි බිලී කොක්කකුයි ගැට ගහනවා. බිලී කොක්කට පණපිටින් පුංචි මාලුවෙක් අමුණලා මුහුදේ ඈතට වීසි කරලා හෙමින් හෙමින් අදිනවා. ලිහිණියන් උඩ කැරකෙනව නම් යට ෂුවර් එකටම කොරඹුරුවෝ වගේ පුංචි මාළු ඉන්නවා...උන් කන්න පරව් වටේට ඉන්නවා...පරවෙක් ෂුවර්. ඉස්කෝලෙ මළ කරදර වැඩවලිනුයි...දරුණු ගණයේ ගුරුවරුන්ගේ ග්‍රහනයෙනුයි ගැලවුණු...දවසෙම එක එක විදියෙ මාළු අල්ලන රත්තා...හරිම වාසනා වන්තයෙක් !               
                            ඔට්ටිලයයි, සබ්බයි...තමයි අනිත් දෙන්නා...(ඔව් මේවා පුදුම නම් තමයි) උන් දෙන්නම ඉතාම දක්ෂ කිමිදෙන්නෝ. මට මුහුදේ කිමිදිලා යකඩ කූරෙන් ඇනලා පොකිරිස්සන් අල්ලනහැටි කියාදුන්නේ ඒ දෙන්නා තමයි. පොකිරිස්සට...ඊතලයක් හැඩයට හදාගත්තු යකඩ කූරෙන් ඇන්නගමන් එකපාරටම ආපහු ඇදල ගන්න ඕනේ...නැත්නම් පොකිරිස්සා ගල බදාගන්නවා කොහොමවත් ගලවන්න බෑ... පොකිරිස්ස ගේ කෑලි තමයි ගන්න වෙන්නෙ. ගෙඳවානෙගල ආශ්‍රිත මුහුද පතුලේ තියෙනවා ගල්ගුහා...මේවා දවල්ටත් කළුවරයි ඔට්ටිලයයි, සබ්බයි ටෝච් අරගෙන මේවා ඇතුලට රිංගලා පොකිරිස්සෝ ඇල්ලුවා. මං වගේ ආධුනිකයෙකුට එච්චර හපන්කමක් කරන්න බෑ.
                                    පොකිරිස්සන් අල්ලන අනිත් ක්‍රමය තමයි වට්ටු දාන එක. ගැලුම් හතලිස්පහේ පීප්ප වටේට තියෙන යකඩ වළලු තමයි මේකට පාවිච්චි කලේ. ඒකට මාළුදැල් කෑල්ලක් කම්බි වලින්ගැටගහනවා. මස් කඩෙන් ගෙනා හරක්බොකු කෑලි තැන් තැන් වල දැලේ ගැට ගහලා රෑට දානවා මුහුදු පතුලට. තියෙන තැන හොයාගන්න රිජිෆෝම් බෝයාවකුත් තංගුස් පටකින් අමුණලා තියනවා. උදේට මේවා උස්සන හැටි බලන්න වැල්ලට දුවනවා. හරක් බොකු කන්න ඇවිත් දැලේ පැටලුනු පොකිරිස්සෝ දෙතුන් දෙනෙක් උදේට වරදින්නේ නෑ. උදේට ගොඩ එන රෑ මූදු ගිය ඔරුවල පතුල බලන්නත් තියෙනවා...අපරාදෙ ලස්සන ගල්මාළු...වෙලාවකට එහෙමත් හිතුන. පරක්කු වෙලා ඉස්කෝලෙ ගිහිං පිනාගෙන් ගුටිකන්න ප්‍රධාන හේතුව මේක තමයි. පිනා දන්නවයැ ඒ ලැබෙන්නෙත් අධ්‍යාපනේ තමයි කියල !

                                            
                         (මේක කියවූ සැදැහැවත් බෞද්ධ පිංවතුන් කම්පානොවෙත්වා !)                                                 

20 comments:

  1. Meva bohoma pav vada.hik..hik..

    ReplyDelete
    Replies
    1. මාළු කාරයින්ට වැල්ලේ ගොවිතැන පුරුදුකරමු !

      Delete
  2. සාධු සාධු සාධු! අධ්‍යාපන චාරිකාවක් කියා වගේ. එතකොට පස්සේ කාලේ ඉස්සෝ පොකිරිස්සෝ විද්‍යාගාරෙදි කපන්න වුනාම ලැච්චර් තුමාලට ඔය පොඩිකාලේ අත්දැකීම් කිව්වේ නැද්ද?

    ReplyDelete
  3. හරිම ලස්සනයි. මේ කතාව පෝස්ට් තුනක් විතර දිගට ගෙනියන්න තිබ්බා. ඇත්තටම මුහුදු මංකොල්ලකාරයින් මතක් වුනා.

    ReplyDelete
  4. මෙතනත් තියෙනව ඔය ගල ගැන. http://ambalangodakatha.blogspot.com/2015/11/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. Prasanna umbath ringannathi tanak ne needa

      Delete
    2. අපි රිංගුවෙ නැත්තං හරි නෑනෙ. :D

      Delete
  5. පිනා දන්නවයැ ඒ ලැබෙන්නෙත් අධ්‍යාපනේ තමයි කියල !///// +++++

    ReplyDelete
  6. ඔය ගල ගැන අම්බලන්ගොඩ යත් ලියලා තිබුනා

    ReplyDelete
  7. ඔය ගල ගැන අම්බලන්ගොඩ යත් ලියලා තිබුනා

    ReplyDelete
  8. මගෙත් ෆේවරිට් මෙව්වා එකක් තමයි මාළුන්ව වතුරේ ගිලෙන එකෙන් බේරලා ගොඩ ගන්න එක...
    වාහනේ ඇතුලේ හැමතිස්සෙම කරකවන මෙව්වා එකකුයි, අකුලන පිත්තකුයි තිබ්බට කොහෙද ඉතින් ඔව්වට වෙලාවක්...

    ReplyDelete
  9. මට මතක් උනේ මඩොල්දූව!

    ReplyDelete
  10. මුහුදු හුළඟක් වැදුනත් සැපයි අෆ්ෆා.. :)

    ReplyDelete
  11. බෙල්ලො අමුවෙනුත් කන්න පුලුවන්ද? :D

    ReplyDelete
  12. BELLA AMUWEN KIRI RASAYI... HAPANNA BAHA URANNA THAMAYI THIYENNE.
    AYI PANATI .. WALI HARALA ALLA GANNAE .. UMAWATH PANA PITIN KANNA PULUWANI

    ReplyDelete