Sunday, 5 June 2016

මං කොයි වගේද 5

මං කොයි වගේද 5 
ඔන්න ඉතිං රේඩියෝ පිස්සුවෙන් පස්සේ කොල්ලට වැලඳුනේ වඩාත් උග්‍ර ට්‍රාන්ස්මීටර් පිස්සුව සහ ඇම්ප්ලිෆයර්/බෆල් පිස්සුව. ඒදවස් වල සංනිවේදන පහසුකම් අත් හිටවල ලංකාවම ගල්යුගයක තියල තිබුනෙ අපේ සිරිමා අම්මණ්ඩි. තැපැල් කන්තෝරුවෙන් කොළඹටවත් මළාට කෝල්එකක් ගන්න බෑ. කම්බි දිගේ තමයි කටහඬ ගියේ. ඊයම් පාස්සන බවුත් එකක්, ටෙස්ටර් එකක්, විදුලි ඉස්තිරික්කයක් වත් කඩවල නෑ. පප්පාසර් (ප්‍රින්සිපල්) ගෙන් ලියුමක් අරගෙන...කෝච්චියේ නැගල කොල්ල පළමු වතාවට තනියම කොළඹ ගියා වොක්ෂෝල් වීදියේ තිබුන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ගබඩාවට බවුත් එකක් ගන්න. හුටා...බවුත් ගන්නත් පෝලිම. ලියුම දීල පෝලිමට පිටින් ගිහිං බවුත් එක ගත්ත. හැරෙන තැපෑලෙන් කොල්ල ගෙදර.
රේඩියෝ/ ට්‍රාන්ස් මීටර් පිස්සුව තදටම වැළඳුනු තවදෙතුන්නෙක් හිටිය එකෙක් රන්ජිත් ළමාහේවා. අපි දෙන්නා ට්‍රාන්ස් මීටර් ගැන පර්යේෂණ කෝටියයි. මේවා නීතිවිරෝධී වැඩ බව අපි දැනගෙන හිටිය. එත් අපි දෙන්න හොරෙන් ට්‍රාන්සිස්ටර් තුනක AM එකක් හැදුව. මාකෝනිල දෙන්න පළමු වතාවට රහසේ පණිවිඩ හුවමාරු කළා. ගෙවල් දෙක අතර පරතරය හැතැම්ම බාගෙටත් අඩුයි. පින්තූරෙ දැක්කම පේනවනෙ...මුළු ඉස්කෝලෙන්ම හිටිය හැන්ඩිම කොල්ල මම....එත් මගේ අපි මිට්ටන්ගේ පාප මිත්‍ර සංගමේ තුන්දෙනාම අඩිපහයි අඟල් තුනයි උස, කොට මොඩ්ල් ළඟ පිකප්...(මමයි, කුලසිංහයයි, නිමලුයි) එවුනුත් හිතන්නේ උන්තමයි පට්ටම හැන්ඩියෝ කියල. ඒකට හේතුව උන්ට කෙල්ලෝ ඉන්නවා මටනෑ. කෙල්ලොන්ටත් උන් එක්ක වැඩි කතා නැති ආඩම්බරකාර...උන්පස්සේ නෑවිත් යකඩපස්සේ දුවන පිස්සා දිරෙව්වෙ නෑ. ( සමහර කෙල්ලෝ කිවලු පිස්සුනැත්නං...ශෝක් කොල්ල අනේ කියල) පහුකාලෙක උන් දෙන්නා මාත් වලට දැම්මා. (පාත්‍ර වර්ගයා ජීවතුන් අතරද දන්නේ නැති නිසා කියන්න බෑ). 
අපට සැල්පෝන් තිබුණයැ මල් කඩන්න.... ට්‍රාන්ස්මීටරේ බැරිද ලපටි ප්‍රේමවන්තයන්ට මල්කඩන්න යොදාගන්න...? අයිඩියානන්දට විදුලියක් වගේ අදහස ඔළුවට ආව....එත් මේකට අනිත් පාර්ශ්වයටත් ඉලෙක්ට්‍රොනික් දැනුම තරමක් ඕනේ. FM නොව AM නිසා හුඟක් දිග ඒරියල් එකකුත් ඕනේ ඒනිසා වැඩේ අතඇරල දැම්ම. හරිගියානං 71 කැරැල්ලත් එක්ක...අනිවාර්යයෙන්ම බලුකූඩුවටත් හිහින් ටයර්එකේ යන්න වෙනවා (සිරිම තමයි ඉන්වෙන්ටර්). කාලයක් ගියාට පස්සේ දැනගත්ත Aamateur Radio Operator විභාග පාස් වෙලා මෝස් සංඥා ක්‍රමය ඉගෙන ගත්තොත්...නීත්‍යානුකූලව ට්‍රාන්ස්මීටර්, වෝකිටෝකි පාවිච්චි කරන්න පුළුවන් කියල. දවසක් මං ගියා මගේ මිත්‍ර අතුලගේ තාත්තගේ ගෙස්ට්හවුස් එකට...යනකොට අඩි සීයක් විතර උස පොල්ගස් වල කරටියේ වයර් එහාට මෙහාට ඇදල කේබල් වලින් සම්බන්ධ කරල තිබුන. තව ඇළුමේනියම් පයිප්ප වලින් හදාපු අටමගලෙකුත් නැවිච්ච පොල්ගහක එල්ලලා තිබුන. මොකක්ද බං මේ...මං අතුලගෙන් ඇහුව. පිස්සු බෙල්ජියන් සුද්දෙක් ඉන්නවා නැවතිලා...මේ යකා ට්‍රාන්ස්මීටරයක් තියාගෙන සිග්නල් යවනවා...කෑගහනවා එළිවෙනකන්. මුගේ කෑගැහිල්ල නිසා අනිත් සුද්දොත් යන්නගියා. මූ හැම අව්රුද්දේම එන නිසා එලවන්නත් බෑ කියල අතුල කිව්ව.
මට ඒසුද්ද පෙන්නපන්කො.... ඕකා CIA කාරයෙක් වෙන්න ඕනේ...මිනිස්සු පොලීසියට කියල පොලීසියෙනුත් ආව. මූ ලයිෂන් එකක් පෙන්නලා පොලිස්කාරයෝ එලව ගත්ත. ඕකා දරුණු පොරක්...උඹව හපාකයි පළාතේ යන්න එපා...මං කාමරේ ගාවට ගිහිං පොඩ්ඩක් බලන්නද ? මගේ වදේට අතුල හාකිව්ව. මං උගේ කාමරේ ඇරල තිබුන දොරගාවට ඇවිත් එබිලා බැලුව...කාමරේ පිස්සන් කොටුවක් වගෙයි...තද නිල්පාට වීදුරු වගේ ඇස්දෙකක් තියෙන සුද්දෙක් ට්‍රාන්ස් මීටරෙකින් කතා කරනවා...ඌ මාව පඩේකට වත් ගණං ගත්තේ නෑ දිගටම ට්‍රාන්ස්මිට් කරනවා...භාෂාව ඉංග්‍රීසි නිසා දිගටම අහන් හිටිය. මං ගුඩ් මෝනිං කිව්ව ඌට...මෝනිං...ඌ මගේ දිහා නොබලා කිව්ව. Are you an Amateur Radio Operator? මං උගෙන් ඇහුව...සුද්ද අඩියක් උඩගිහින් බිමට වැටුන. Yes Sir…Come In මරුමුස් සුද්ද...මට ඇතුලට එන්න කිව්ව.... සේවන්ටිත්‍රී...මයි ෆ්‍රෙන්ඩ්.. ෆෝ ෂුගසෙවන්...ස්ලෑෂ්...ඔස්ක...නොවැම්බර්...සික්ස්.. ටැංගෝ... සුලු...සයිනින්...ක්ලියර් සුද්ද කතාව නැවැත්තුව. Do you know about Ham Radio…? Yes little bit මං ඌට කිව්ව. ටිකක් මගේ විස්තර කිව්වම ඌ මගෙන් භයානක ප්‍රශ්ණයක් ඇහුව What’s your Religion ? I’m a Free Thinker…I’m an Atheist !!!...හුටා...A Colleague…සුද්ද මට අතට අත දුන්න. Do you like to become an “ Amateur Radio Operator” ?...Why Not !!!පොළවේ රෝසමල් ඉහේ පිපුන !!!.

7 comments:

  1. ඔය රේඩියෝ පිස්සුව අපි පොඩිකාලෙ ගොඩක් කොල්ලන්ට තිබුණ එකක්.

    ReplyDelete
  2. මට බවුත් එකක් මටම කියල ගන්ඩ හම්බකරනකම්ම ඉන්ඩ උනා

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එන්න එන්නම වැඩේ නැගලා යනවා.. එල කිරි
    ජයවේවා..!!

    ReplyDelete
  5. මේ ලියන භාෂාවත් හරිම ලස්සනයි.

    ReplyDelete
  6. මමත් ඉස්කෝලෙ යන කාලේ ගෙදෙට්ට වැඳලා බවුත් එකක් අර ගත්තා මාස ගාණක් වැඩ කලා දවසක් කෑලි බෑලි ටිකක් හොයාගෙන සර්කිට් එකක්(අර දෙපැත්තට පත්තු වෙන එක. multi vibrator) හදන්න ඉඳ ගත්තා.හදන්නේ ටී.වී එක ලඟ ඉඳගෙන ගැහුවා ප්ලග් එක. බවුත් එක රත් වෙන පාටක් නැත. කේන්තියෙන්ම බවුත් එක මස් කලා. වෙලා තිබ්බ එක දැක්කේ ගොං වැඩේ කලාට පස්සේ ගහලා තියෙන්නේ ටී.වී එකේ ප්ලග් එක.

    ReplyDelete